Thursday, June 24, 2010

..................අයුක්තියට එරෙහි පන්හිඳ නිහඬ කරමි.........

මම ලිව්වා... මට දැනුනු තේරුනු ඇත්ත. මම කතා කලා ඒවා ගැන. සමහරු බොහෝ දේ තේරුම් ගත්තා. තවත් අය වාද කලා. තවත් පිරිසක් හිනාවුනා. සියල්ල එසේ සිද්ධ වෙද්දි මට හැමදාම හිතුනු දේ තමයි මොකක්ද මේ ජීවිතයෙ සැබැ තේරුම කියන ඒක. අවස්ථාව ලැබුනු හැටියට මම යමක් කලා. කරන්න තිබුනු සමහර දේ මග හැරියා. පන්හිඳට පන පොවල යමක් කරන්න පුලුවන්. එත් එක්ක එන තාරුණ්‍යයේ ජවයත් එක්ක ලොකු දෙයක් කරන්න පුලුවන්. ඒ මොනා වුනත් ඒ කිසිම දේකින් සැබැ ජයක් ලබන්න අමාරුයි. ජීවිතයේ සැබැ අරුත සොයන්න අමාරුයි.

මම ආයෙත් ඒ වැඩේ නොකර ඉන්න තීරණය කලා. කාලයත් එක්ක මතු දවසක මීට වඩා හරවත් වූ දෙයක් කරන්න ඉඩක් ලැබුනොත් මම ආයෙත් ඒ දෙය කරයි. ඒක මම කාලයටම බාරදුන්නා.


සරසවියෙන් ගත්තු දේ අරගෙන මම සාමාන්‍ය මනුස්සයෙක් විදියට සමාජගත වෙන්න ලගයි. ඒකත් එක්ක  ලොකු අත්දැකීම් මට ලැබෙයි. වෙනස් විදියකට හිතයි,දකියි...

මීට පස්සෙ මම වෙනස් විදිහෙ ලිපි ලිව්වත් අයුක්තියේ පන්හිඳට නම් තීන්ත දාන්නෙ නැ. එහෙනම් ඔන්න මම තිත තිව්වා. කැමති කෙනෙක් කලින් ලිපි බලලා යමක් තෙරුම් ගන්න. තමන්ට පුලුවන් දේ කරන්න. තමන්ගෙ ජීවිතය හදාගෙන රටට යමක් දෙන්න.

 මට දැන් ඔනේ අලුත් අත්දැකීම්. අලුත් ජීවිතයක්. පරන දෙවල් එක්ක හැමදාම ජීවත් වෙන්න බැ. අලුත් චින්තනයක් එක්ක අලුත් හැඟීම්.........
 "Every new beginning comes from some other beginning's end"

Sunday, June 20, 2010

..........අපේ සරසවි වලට අලුත් ඉන්ගිරිසි පාඨමාලාවක්.........

ඔන්න අපේ අලුත් උසස් අධ්‍යාපන මහත්තයා ආපු ගමන් අලුත්ම වැඩ කිඩ ටිකක් දාලා පෙන්නන්නයි වගේ යන්නේ. හොඳ නරක කියල 2ක් තිබුනට මොකද මම කියන්න යන්නෙ හොඳ ගැන. නරක ගැන ලියන්න කට්ටිය ගොඩක් ඉඳියි කියල මට හිතෙන්නෙ.

මට මේක ලියන්න හිතුනෙ කට්ටිය සෙට් වෙලා මේ දවස්වල දඩි බිඩියෙ පිකටින් කරනවනි ඉන්ගිරිසි එපා කියල. මම නිකමට අහන්න කැමතියි ඔය leaders ලාගෙන් බැරිවෙලාවත් කැම්පස් එකේ library එකට ගිහින් තියෙනවද කියලා.. එතකොට ඔය කබඩ් වල පුරවල තියෙන Physics, Chemistry, ...එහෙමත් නැත්නම් Human Resource Management, Financial Accounting, ..... Archeology පොතක් බලලා තියෙනවද. ඒවා ලියල තියෙන්නෙ කව්ද කියල බැලුවද. ඒවා ඔක්කොම වගේ ලියල තියෙන්නෙ English Medium නෙ...එහෙමත් නැත්නම් ඉන්දියාවෙන්. අපේ අයත් ලියපු පොත් තියෙනවා. ඒත් හරිම ටිකයිනේ.
government job හොයන්න අමාරුයිනේද. වැඩියෙන්ම තියෙන්නෙ private ඒවා. නිකමට හරි ඔය private company එකක training හරි හිටියා නම් දන්නවා sinhala medium එකෙන් වැඩ කරන්නෙම නැති තරම් කියලා. අපි ලියන්නෙ කන්නෙ පාවිච්චි කරන්නෙ බහුතරයක් පිට රටින් එන ඒවනි. වැඩිය ඕනෙ නැ දැන් මේ computer එක කොහෙන්ද.. රටින්නේ. windows xp කාගෙද.. අපි බොරුවට අපේකම කියල මහ ලොකු දෙයක් ඔලුවෙ දාගෙන, අනුන්ගෙ ඒවම පවිච්චි කරල අනුන්ටම බනිනවා. එතකොට ඔය සුදු මහත්තුරු සුදු නෝනලා එහෙම අදින ඇඳුම් කගෙද කව්ද මහන්නෙ.. අපේ රටේ අපේම මිනිස්සු.. උන් ඒව අදින් නැතුව ඉන්නවද?

ලෝකය දියුනු වෙද්දි අපිත් ඒ අනුව හැඩ ගැහෙන්න ඕනි. එහෙම නැතුව පැවැත්මක් නැ. 60 දශකයෙ පඬිවරුන් අපේ අධ්‍යාපන මාධ්‍යය සි0හල නොකරන්න අපි අද ලොකයේ දියුනුම ජාතීන්ගෙන් එකක් වෙලා කියලයි මට හිතෙන්නෙ. මම පර ජාතීන්ට කඩේ යනව නෙවෙයි. අපි රකින්න ඕනි අපේ ආගම, ජාතිය, ඒත් අපි සියල්ල සමබරව කරල දියුනු වෙන්නයි ඕනේ. එහෙම නැතුව බඩ ගින්නෙ මැරෙන්නෙ නැති වුනාට පැවත්මක් නැ.

දැන් තමයි හරියටම මතෘකාවට එන්නෙ. සරසවි සිසුන්ට ඉන්ගිරිසි එපා කියන්නෙ කවුද. එයාල වෙනුවෙන් පෙනී සිටින නායකයො තමයි කියන්නෙ. ලමයින්ගෙන් අහලද...????. මම පුන්චි කතාවක් කියන්න හොදට තේරුම්ගන්නකො. මම හිටපු බෝඩිමක හිටියා මාධ්‍යවේදී අයියා කෙනෙක්. ඒ අයියා මට කියනවා මල්ලි දන්නවද ඔය ඉස්සරහින්ම ඉන්න අයට සල්ලි කොහෙන්ද කියලා. ඒවට සල්ලි දෙන්නෙ NGO වලින් කියලා. ඇත්ත නැත්ත කෙසේ වෙතත්, සමහර විට ඒ  නායකයොත් දැනගෙන නෙවෙයි එහෙම කරන්නෙ. ඒ අය තවත් පිරිසක් විසින් නොදැනුවත්වම මෙහෙයවෙනවා වගෙයි. මට කියන්න ඕනේ ඔය කවුරුවත් ගැන නෙමෙයි. දුප්පත් මිනිහට හැමදාම වරදින්නෙ ඇයි කියල. ඉන්ගිරිසි බැරි කාටද.. පහසුකම් සපිරි ජනප්‍රිය පාසල් වල අයටද....ගමේ ඉස්කෝලෙ ගියපු අර අහින්සක අයට  තමයි බැරි. කාටද එත්කොට මේ අලුතින් දෙන English Course එක වැදගත් වෙන්නෙ. අර ගමෙන් එන අහින්සක සිසු සිසුවියන්ට නෙවෙයිද . එතකොට කව්ද ඔය එපා කියල පිකටින් කරන්නෙ. පහසුකම් වලින් සපිරි පාසල් වල අයද .. ..කොහොමටවත් නැ.. ... අර ගමෙන් ආපු අහින්සක  සිසු සිසුවියන් ටිකම තමයි දෙන දේත් එපා අපිට මෙහෙම හොඳයි  අපේ විදිය අපිට හොඳයි කියලා කැ ගහන්නෙ. ඇයි ඒ ..ඇත්ත දැනගෙනද නැත්නම් කවුරුහරි කියන නිසාද? ඇත්තටම හැඟීමකින් තමයි. ඒත් හරි දේ වටහාගෙනද කියන එක ගැටලුවක්.

ඇත්තටම ඒ අහින්සක එවුන් එහෙම කියනවද.. නැ..මේ කතාවෙ දුකම හිතෙන තැන එතන. ඇත්තටම සරසවි වලට එන ඕනම කෙනෙක් English ඉගෙන ගන්න ආසයි. අපේ රටේ කැම්පස් වල පහසුකම් වලින් සපිරුනු ELTU තිබුනට ඒකෙන් අර දන්නෙ නැති කෙනෙකුට වැඩක් ගන්න හරි අමාරුයි. ඇත්තම කිව්වොත් පුලුවන්කම හොදටම තිබිලත් එහෙම කිසිම සැලසුමක් නැ.

එතකොට කව්ද මේ එපා කියල කැ ගහන්නේ. ඒ තමයි අර අහින්සක මිනිස්සුන්ගෙ නියොජිතයො ටික. සාමාන්‍යයෙන් සල්ලි තියෙන මිනිස්සු, එහෙම නැති මිනිස්සු දියුණු වෙනවට කැමති නැ. දියුණු රටවල් දුප්පත් රටවල් දියුණු වෙනවට කැමති නැ. අර නියොජිතයො ටික රවට්ටගත්තාම මේ අහින්සක උන්ගෙ බලපොරොත්තු ඉවරෙටම ඉවරයි. උන් කරන්නෙ අර අහින්සක එවුන් ලව්වම හම්බෙන්න තියෙන දේත් නැති කරගන්න අර අද්දවන එක. මේක තමයි ඇත්ත. මට කියන්න තියෙන්නෙ ඔය stage වල ලේ කඳුලු ගැන සුන්දර කතන්දර කියන අයට රැවෙටෙන්නෙ නැතුව, ලින් මැඬියො වගෙ ඉන්නෙ නැතුව තමන්ගෙ ඇස් ඇරලා ලෝකය දිහා බලන්න කියන එක.
අන්තිමට මෙහෙම කියන්නම්. කැම්පස් එන ඕනම කෙනෙක් තමන්ගෙ  degree එක කොහොමත් ගොඩ දානවා බොහෝ විට ඒක මොන medium එකේ වුනත්. ඒ කියන්නෙ ඉන්ගිරිසි දන්නෙම නැතුව ආවත් degree එක English medium නම් අන්තිමට යද්දි language එක බොහෝ දුරට දැනගෙන යන්නෙ. ඒත් අවුල වෙන්නෙ ඒක කර ගන්න විඳින්න වෙන දුක. මහන්සි වෙන්න වෙන්නෙ subject එකට නෙවෙයි language එක ඉගෙනගන්න. එහෙම වුනාම අර ගමෙන් එන සිසුවාට සිසුවියට මුල් exam වලදි ලකුනු ගන්න වෙන්නෙ අඩුවෙන්. මුලදි ඕක මහ ලොකු දෙයක් නොවුනට අන්තිමට job එකක් ගන්න ගියාම degree එකට class තියෙනවද අහනවා. ඔහොම ඉල්ලන්නෙත් government ඒවටම තමයි. අන්තිමට දහ දුක් විඳලා degree එක ගොඩ දාගෙන job නැතුව වේලෙනවා. එහෙම නැත්නම් තුට්ටු දෙකේ වැටුපකට යනවා.

සමහරු ගේමක් නැතුව ලකුනුත් අරන් special එකකුත් කරල class එකකුත් එක්ක ලොකු වැටුපකට යනවා.



තමන් තමන්ටම වල කපාගන්න හැටි තේරුනාද මන්දා......

Sunday, June 6, 2010

අලයෝ සහ පොද්දෝ.....4

දැන් අපේ රටේ හැමෝම වගේ කතා කරන්නෙ අලුත් ආශ්චර්යක් ගැන, ඒ කියන්නේ හැමෝටම ඔනේ ඉක්මනට මේක සි0ගප්පූරුවක් කරන්න. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ අපේ දේශපාලුවො ටික එක්කහු වෙලා මොන වගෙ ආශ්චර්යක් කරයිද කියන එක.මොනාවුනත් දැන් අවශ්‍යතාව වෙන්නෙ ආශ්චර්යක්නෙ. උසස් අධ්‍යාපන, අධ්‍යාපන, ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා ලේකම්ලා කොච්චර නම් ඉන්නවද?? ඔය එකෙක් නිකමට campus එකකට ඇවිත්, මෙලො රහක් නැතුව හාල් වෙවී ඉන්න කොල්ලෙක්ගෙන් අහනවද ඇයි හාල් වෙන්නෙ කියලා. බෝඩ් කරේ තියාගෙන කම්බි වැටවල් කඩා ගෙන, පොලු මුගුරු අරන් උන්ගෙ සීතල කාමර තියෙන අධිආරක්ෂක කලාප වලට ගිහිල්ලා මතක් කරලා දෙනකල් උන්ට මතක නැ තමන්ගෙ job එක මොකක්ද කියලා. අපේ රටෙ campus තියෙනවා කියලා මතක් වෙන්නෙ එවා දින නියමයක් නැතුව වැහුවා කියල news වලට කියද්දි.


සරසවි වල ගැටුම් වලට තවත් ප්‍රධානම හේතුවක් වෙන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන වැරද්ද කියල මට හිතෙන්නෙ. lecturer ඇවිත් තඩි පොතක් පෙරලගෙන එහෙමත් නැත්නම් power-point presentation එකක් දාගෙන theory කන්දක් උගන්වල යනවා. කිසිදු ප්‍රායෝගික බවකින් තොර වුනු මේ ක්‍රමය තුල කොතරම් දක්ෂ සිසුවෙකුට වුවද සැබැ ලෝකයේදී අලුත් දෙයක් කරන්නට හැකියාවක් තිබේද?. සරසවිවලින් බිහිවන සිසුන් අලුත් සොයා ගැනීම් නොකරයි නම් වෙන කවුරු ඒවැන්නක් කරන්නද?. රටේ සන්වර්ධනයට විශ්ව විද්‍යාලය එකතු නොවන්නේ නම් ඒ රටේ ආශ්චර්යක් සිදු විය හැකිද?

මම දැකපු ගැටුම් වලදී සැබැ ලෙස තම පිරිස මෙහෙයවන්නටද, අති දරුනු අවස්ථා වලදී පවා තම සහෝදර සිසුන් වෙනුවෙන් සටනට එන්නටද පසු බට නොවන සිසුන් සැබැම වීරයෝ වෙති. දක්ෂයෝ ද වෙති. නමුත් ඔවුන් තම හැකියාවන් යොදා ගන්නේ ඵලදායී දෙයකට නොවන වග තේරුම් ගන්නට තරම් අවබෝධයක් ඔවුනට නැත. එසේ නම් ඒ නිවැරදි දැක්ම දිය යුත්තේ කවුරුන්ද? සිසුන්ට කරන්නට වැඩ ඇත්නම් ද අලුත් දැනුම එකතු කරගන්නට ප්‍රයෝගික ක්‍රම ඇතිනම් ද නිකරුනේ ගත කරන කාලයෙන් නව නිපැයුම් බිහිවෙනු ඇති. ඒත් ගැටලුව වන්නේ අපේ සරසවි තුල ඇති සම්පත් වලින් නියම පල ප්‍රයෝජන ලබන්නට සිසුන්ට ඉඩදී තිබේද යන්නයි. නිදසුනක් සපයනවානම් අපේ රටේ campus වල ඇතිවෙන්නට IT centers තිබුනත් එලියට යන බොහෝ සිසු සිසුවියන් facebook account ගැනවත් email එකක් ගැනවත් අව්බෝධයක් නැතිවෙන්නට තරම් පත්ව ඇති තත්වයයි. මේ ගැන නම් මගේ හිතට දැනෙන්නේ තරහකි. මේ තත්වය බොහෝවිට අප දකින්නේ කලා විෂය හදාරන අය අතුරෙනි. මෙවන් පිරිස් විරැකියාවෙන් පෙලීම සාධාරනය. නමුත් ඔවුන් අසරණ උපාධිධරයෝ වෙති. මේ තරම් කිසිදු මග පෙන්වීමක් නොමැති මේ සරසවි අධ්‍යාපනය ගොඩ නගන්නෙ නැතිව අප ආශ්චර්යක් සිදු වෙන තුරු බලාසිටිය යුතුද?

අලයෝ වේවා පොද්දෝ වේවා යමක් කරන්නට ඔවුන් උත්සහ කරයි. කල යුත්තේ campus වසා දමා සිසුන්ගේ අනාගතය බිල්ලට දීම නොව නිවැරදි දැක්මක් තුලින් අනාගතය සරු කර ගන්නට මග පෙන්වීමය. අපේ රටේ ආශ්චර්යක් දකින්නට නම් මේ සරසවි අධ්‍යාපනය ප්‍රතිසන්විධානය කිරීම අත්‍යවශ්‍ය වන අතර private university වලට උඩගෙඩි දෙන අපේ රටේ කොමිස් කාක්කන් මේ අධ්‍යාපනය කන්නට කලින් එය සිදු කල යුතුය. private university හැදුවාට කම් නැත නමුත් රජයේ university එක හරියට නැතුව ඔය දෙවල් කරන්නට බැරිය. හේතුව දෙන්නන් වාලේ degree දුන්නා කියා මේ රට තවත් වල පල්ලට වැටෙනවා මිස නැගිටීමක් බලා පොරොත්තු විය නොහැකිවීමයි.

මේ සරසවි ගැටුම් වලට විසදුම් සොයන්නට පරිපාලනය වේවා, මහචාර්ය වරු වේවා...SWOT analysis කල යුතු නැත. සරලම දේ වැරැද්දට නියම වැරදි කරු සොයා දඬුවම් කිරීමයි.


එය ඉවරයක්ම කල හැකි බව මගේ හැඟීමයි. ත්‍රස්තවාදයට විසදුම දඩුවම බව 30 වසරක යුද්ධය නිමා වූ අයුරින් අපි දුටුවෙමු. එසේ නම් මේවා සුලු වැඩය. අවශ්‍ය වන්නේ රජය මීට වඩා සැලකිල්ලකින් උසස් අධ්‍යාපනය දෙස බැලීම නොවේද?


ඔන්න මම මගේ අලයෝ සහ පොද්දෝ..... කියල ලියපු ලිපි පෙල මෙතනින් නවත්වනව. කියවපු හැමෝටම ස්තුතියි එත් වැදගත් වෙන්නෙ මේකෙන් දෙයක් ගත්තද කියන එක. එහෙනම් මෙතනින් එහාට යමක් කිරීම ඔබට බාරයි. ආයුබෝ වේවා!!!!

Tuesday, June 1, 2010

අලයෝ සහ පොද්දෝ.....3

කවුරු කොහොම කිව්වත් ලන්කාවෙ university එකක මොකක් හරි degree එකක් කරන්න ලැබෙන එක සෙල්ලම් නෑ. මෙකේ තියෙන ෆන් එක Oxford ගියත් හම්බෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ. අවුරුදු ගානක් දුක් විඳලා විඳලා AL exam එක ලියද්දි ඕනම කෙනෙකුට තියෙන එකම හීනය කොහොම හරි campus එන එක.



මට නම් ඔය කියන සරසවි සිහිනය මට 1,2 යි 3යි කියල තේරෙන කාලෙ ඉඳලම තිබුන කිව්වොත් හරි. ඒකට වැඩියෙන්ම හේතු වුනේ තාත්තා. මටත් වැඩිය මාව campus ‍‍‍යවන්න ඕන වුනේ තාත්තට. උදේ හවස ඒක ගැනමයි කියවන්නෙ. මාත් ඉතින් කොහොමහරි ගොඩ දැම්මා. තාත්තා දන්නෙ නෑ AL වලට මොනවද කරන්නෙ ඒ විදියට තමයි campus එකෙ degree තියෙන්නෙ කියල. එයාලට් කෝකත් එකයි. දන්නෙ පුතා campus යනව කියල විතරයි.

මම කියන්න හැදුවෙ මගෙ AL කදන්දරයක් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන අහින්සක දෙමව්පියො තමන්ගෙ දරුවො ගැන තියෙන බලාපොරොතුව ගැන. campus එන ගොඩාක් අයගෙ පසුබිම තමයි මේක. මේ පවුල් පසුබිම වෙනස් වුනාම ඒකෙ බලපැම මොන විදිහටද සරසවි ශිෂ්‍යකුට බලපාන්නෙ කියන එක විස්තර කරන්න අමාරුයි. සරලම උදාහරණයක් කියනවනම් first year එකෙදි කොළඹ ලමයෙකුයි පිටිසර ගමක ලමයෙකුයි අතර දකින්න පුලුවන් වෙනස. මේ වෙනස මොන වගේද කියල තේරුම් ගන්න සමාජය පිළිබඳව ලොකු අවබෝදයක් තියෙන්න. ඒ ඒ පවුල් පසුබිම් තුල ජීවත් වෙලා අත්දැකීම් තියෙන්න ඕන.

මම ඒක තව ටිකක් කියන්නම්. මොකද ඒක ගොඩාක් වැදගත්. මම මුලින්ම ආපු දවස් වල මට මෙලෝ දෙයක් තේරුනෙ නැහැ. lecture ගියාම එලියට එන්නෙ අඬාගෙන. තේරෙන්නෙ නැති නිසා. මම ඒකට උදව්වක් ගන්න පුලුවන් අය විදිහට දැක්කෙ අපේම පැත්තෙන් මෙහෙ ආපු අයියලාගෙන්. ඒ අය විතරයි අදුරන අය වෙන්නෙ. මම මාත් එක්කම class ගියපු මට කලින් මෙහෙ ආපු අයට කිව්වා මට මුකුත් තේරෙන්නෙ නැහැ. මොකද කරන්නෙ කියලා. ඒ අයියල කිව්වා උඹ ඕවා හිතන්න එපා. අපිටත් තවම තෙරෙන්නෙ නැතුව උඹලට තේරෙන්නෙ කොහොමද , ඕවා එච්චර අමාරු නැහැ. මුලු semester එකටම hand out 5ක් 6ක් දෙනවා. ඒවා පාඩම් කරන්න අන්තිමට සති 2ක් දෙනවා, දැන් ෆන් එකෙ ඉඳපන් කියලා. මට මාර fit එකක් අවේ. මට එහෙම කියපු අයියලා අලයෙක් වත් පොද්දෙක් වත් නෙමේ. මොකකටවත් නැතුව හිටපු නිසා මාත් ඒක විශ්වාස කලා. exam ලන් වෙද්දි පපුව පිච්චෙනවා බයටම මොකද වැඩ කරලම තිබුනෙ නැහැනි. කොහොම හරි මම අමාරුවෙන් යාලුවොන්ට වැඳලා වැඳලා කුප්පි ටිකක් දගෙන exam එක ලිව්වා. ඒ exam එක ලියන්න අර කලින් මට talk දීපු අයියත් ඇවිල්ලා හිටියා. මම ඇහුවා ඇයි කියලා repeat එකක්ලු. lectures ලා එයාලත් එක්ක තරහයිලු, ඒක නිසා හොදට ලිව්වට result දෙන්නෙ නැහැලු. ඔන්න ඔය වගේ කතා තමයි අපේ පැත්තෙ අය්යල අලුතෙන් එන මල්ලිලට කියල දෙන්නෙ. ඒකෙ වැරැද්ද එයාලගෙ නෙමෙයි. ඒ වෙද්දි එයාලත් දන්නෙ එච්චරයි.

මේක තමයි මුල්ම semester එකේදි අලුතෙන් එන කවුරුත් අත්විඳින දේ. ඒක තමයි පසුබිම බලපානවා කියන්නෙ. හොදට හොයල බැලුවොත් ඔයාලට පේනවා ඇති ගහ ගන්න ගොඩක් දඟලන අය ටිකක් දුර බැහැර පැති වලින් ආපු අය බව. ඇත්තටම එයාල එහෙම කරන්නෙ එයාලගෙ ලගින්ම ඉන්න අය අනුමත කරන දේ. කොළඹ එහෙමත් නැතිනම් ටිකක් දියුණු පවුල් පසුබිමකින් ආපු අය කරන දේ බලන්න. ඒ අය ගහ ගන්න ටිකක් බයයි, ඇත්තටම බය නෙමෙයි උන්ට තේරෙනව මේක ගොන් වැඩක් කියල. අනික ගලක් ගහපුවම තව එකෙක්ට වැදිල තුවාල වෙනව කියල තේරෙනව. අනික දේපල හානිය. ඔය හැමදෙටම වැඩිය එයාලට යන්න class තියෙනවා. උන් කරන්නෙ ගහ ගන්න දවස් වලට professional qualification හදා ගන්න එක.

මට 1st semester එක ඉවරවෙද්දි යන්තමට වගේ තේරුනා ඉගෙන ගන්න එක තම්යි වටින්නෙ. මුල වරද්ද ගත්තු අය හිත ඇතුලෙන් දුක් වෙනව පිටට පෙන්නන්නෙ බොරුවක් කියලා. පස්සෙ මම හොදට result දාලා පාඩුවෙ ඉන්න අයියලා කීප දෙනෙක් හම්බෙලා ටිකක් උපදෙස් ගත්තා මොකක්ද හරි දේ කියල තේරුම් ගන්න. ඒ අය්යල බැලුවෙ ලඟ නෙවෙයි ගොඩාක් දුර. මට කිව්වෙ මල්ලි පාඩම් කරන්න පුලුවන් පරිසරයකට යන්න, library ගිහින් පොත් කියවන්න, CIMA, CIM, Java, MCTP වගේ ඒවා කරන්න. ගහ ගන්නෙ මෝඩ කමට, එකම campus එකේ ඉන්න අපි මොකටද ගහ ගන්නෙ , අපි යද්දි මේව අරගෙන යන්නෙ නැ. අන්තිමට තනි වෙනවා. එදාට කවුරුත් නැ කියලා. ඇත්තටම මට 1st year එකෙ 2nd sem එක වෙද්දි ගොඩක් දේවල් තේරුනා. ඇත්තම කිව්වොත් මුල් කාලේ අනිත් අය මුලු දවසම පාඩම් කරද්දි මට හිතුනෙ උන් ගෙවල් ඇතුලෙම හැදිල දන්න එකම දේ පාඩම විතරයි කියලා. පස්සෙ තමයි මට තේරුනා මේ ලෝකය අපි දකින විදිහට නෙවෙයි තව්ත් අය දකින්නෙ කියල. අපි හැසිරෙන්නෙ අපේ සිතුවිලි වලට අනුව. සිතුවිලි වලට බලපාන්නෙ පරිසරය හා පසුබිම.

දැන් කියන්න හදන්නෙ මම දැකපු තවත් විශේෂ පිරිසක් ගැන. එයාලත් ගැටුම් වලදි පෙරමුණේම ඉන්න අය. එයාලට ගෙවල් වලින් ප්‍රශ්ණ නෑ. හැමදාම හවසට අම්මියි , තාත්තියි office එකේ ඉදන් call කරල දුක සැප අහනවා. campus එකෙන් කනවා හරිම අඩුයි. අලුත් ඇදුම් පැලදුම්, බැග්, සපත්තු සමහර විට laptop එහෙමත් තියෙනවා. ඒ අයට ගෙවල් වලින් අබමල් රේණුවකත් ප්‍රශ්ණ නෑ. එයලට එකේක courses කරන්න ඇති වෙන්න සල්ලි තිබුනත් එහෙම ආශාවක්වත් උවමනාවක්වත් නෑ. subject ගොඩ දාන එකත් එච්චර අමාරු නෑ. හේතුව english medium එකත් එක්ක වැඩ කරන එක එයාලට පුරුදුයි.


එහෙම අයට තියෙන ලොකුම අවුල තමයි ගොඩක් වෙලාවට AL කරන කාලේ හරි OL කරන කාලේ හරි ස්කොලෙදි පිස්සු කෙලින්න බැරිවුනු එක. ඒ වුනාට ඒ වගේ අය කරන දෙවල් දැකල අව්ස්ථාවක් ලැබෙනකල් බලා ඉන්නෙ අත්හදා බලන්න. ඒකට හම්බෙන හොදම අවස්ථාව තමයි campus එකේ වලිය. බලන්න ගහගත්තාම කාටවත් ප්‍රශ්න නැ. කාගෙන්වත් අහන්නෙ නැ. කාටවත් නඩු නැ. වීදුරු, දේපල කැඩුනට ගෙවන්න ඕනෙත් නෑ. අනික ඉතින් ගල්නෙ ගහ ගන්නෙ පොඩි කාලේ වගේ මූණට මූණ ගහගන්නෙත් නෑනි. හිත බය වුනාට අවුලකුත් නැ. අනික කට්ටියක් බලගෙන ඉන්නවා එහෙම වුනාම ඉතින් එකෙක් තව එකෙක් පරයා යන තරමට perform කරන්න තමයි හදන්නෙ. විශේෂයෙන් එහෙම අයට ලොකු පාත්ති එහෙම තියෙනවා ඒ අයත් මෙයලව හොදට moral කරනවා.

මම මේ ලිව්වෙ මට තේරෙන මම දැකපු සරල ඇත්ත. මේ කියපු සරල දෙවල් ටික බොහෝ දෙනෙකුට තේරෙන්නෙ ගොඩක් පරක්කු වෙලා. කියවලා හිතන්න තමන් මොන වගෙද කියල. තවත් රසවත් කොටස් කීපයක් තියෙනවා. කියවල comment එකක් දාන්න. එහෙම වුනාම තමයි මේකෙ නියම හරය ලැබෙන්නෙ. මොකද මම ආසයි මට තාමත් දකින්න බැරිවුනු ලෝකය ඔබ තුලින් දකින්න.