Saturday, May 14, 2011

මතකයේ රැඳි මිනිසෙක්......

කාලෙකට පස්සෙ තමයි වෙලාවක් ලැබුනෙ blog එකක් ලියන්න. ලියන්නෙ නැති උනාම කියවනවත් අඩුවෙනවා. මොනා උනත් මේකෙන් ලියන්නෙ මගෙ හිතේ රැඳුනු මනුස්සයෙක් ගැන. එහෙම කිව්වම සමහර අයට හිතෙයි මම මේ කවුරු හරි ලංකාවෙ ඉන්න පට්ට ඩයල් එකක් ගැන ලියන්න හදනව කියලා. අනේ නැ. මූ මගෙ ජීවිතේ ටිකක් ලඟින් ඇසුරු කරපු ඩයල් එකක්. හරි අපූරු මනුස්සයෙක්. :)

ඔහු නමින් මගේ ගමේ කවුරුත් දන්නෙ ගාමිනි අය්යා විදියට. මීට අවුරුදු 5කට විතර කලින් වයස 45 ක් විතර ඇති. ඉතින් මම චූටි කාලේ ඉඳලා මැන්ව දන්නවා. ගොවිතැනක් කරගෙන ජීවත් උනාට business ගැන සැහෙන්න උනන්දුයි. business කිව්වට ඔය පොඩි පොඩි එළවලු සීන් තමයි ඉතින්. කොහොම හරි පිටිසර ගම් ගණනාවකම ජීවත් වෙලා තිබුනා. හේන් එහෙමත් මීට කාලෙකට කලින් කරල තිබුනා. ඉතින් මට campus එන්න කලින් මල්ලි කියලා කතා කලෙ. ආවට පස්සෙ මහත්තයා කියල තමා කිව්වෙ. ඒ තරමටම ඉගෙන ගන්නයි ඉගෙන ගන්න අයටයි කැමතියි.

කියන්න දේවල් ගොඩක් තිබුනට මට කියපු එක කතාවක් විතරක් කියන්නම්. මම campus ඉඳලා ගෙදර යන්නෙ කාලෙකින්. අපේ ගෙවල් ලඟින් මල අතු ඔයේ අතු ශාඛාවක් යනවා. ඒ නිසා ගෙදරට ටිකක් එහායින් කුඹුරු යායක් තියෙනව. ඉතින් උදේ පාන්දරම ගාමිනි අය්යා කුඹුරු පැත්තට යද්දි මාව දැක්කා. මූන පුරා ලොකු හිනවකුත් එක්ක මං ළඟට ඇවිත් මහත්තය එන බවක් කලින් කිව්ව නම් මම බඩ ඉරිඟු ටිකකුයි එළවලු ටිකකුයි ගෙනල්ලා තියෙනවනෙ ඔහු එලෙසින් තම කුඹුර ගැනත් එහි කොනකට වන්නට තනා ඇති පැලේ විස්තරත් මට කියයි. මහත්තයට පුලුවන් නම් අද පැලට එන්න අපි බඩ ඉරිඟු ටිකක් එහෙම පුච්චලා ගමු. මට එක දෙයක් මතකය. එනම් ඔහුගේ නිවසේ වහලයෙ පොල් අතු අතරින් ගැසූ බට නලාවක් ඇති බවය. සමහර දවස් වල මම ඔහුට කියා කපුගේ ගේ සින්ඳු වලට වයන්නට කියා අසා සිටි අයුරු අද වාගේ මතකයි. මම හවස 7ට විතර මිදුලට වෙලා ඉද්දි ඇත වෙල් යාය මැද්දෙන් හීන් හඬින් බට නලා සද්දෙ ඇහෙනවා. මේක මුලු ගමටම පුරුදු දෙයක්. ගාමිනි පැලට ගිහිල්ලා. තාත්තා මා දෙස බලා කිව්වේ මා ඒ ගැන් විපරම් කරන බව දන්නා නිසා වෙන්න ඇති. 


කොහොම හරි පහුවදා උදේම මම මූණ හෝදන්න යද්දි මේසෙ උඩ එළවලු ගොඩකුයි බඩ ඉරිඟුයි තියෙනව දැක්කා. ඔන්න ඔයාට හදල දෙන්න කියල ගාමිනි උදේම ගෙනත් දුන්නා අම්මා කියයි.

හවස නැවත ඔහු මට මුණ ගැහුනෙ සුපුරුදු පරිදි ඔහු පැලට යද්දි. මම ඉතින් ඔහුගෙන් ඔහු කලින් සිටි පෙදෙස් වල පැල් රැක්ක හැටි අහනව. ඔහුත් හැමදාම කතාවක් කියල තමයි යන්නෙ.

මහත්තයො මම ටික කාලයක් හල්මිල්ලකුලමෙ හේනක් කලා ඒ කාලෙ දැන් වගේ නෙවෙයි කැලේ තමයි වටේටම තිබුනෙ. හවස් වෙද්දි හේන් වලට අලි රංචු එනවා. මගෙ පැල තිබුනෙ ලොකු ගහක් උඩ. එකට කැලේ සැහෙන දුරක් පේනවා. ඔය කැලේ හිටියා අලි රංචුවකුයි ලොකු ඇතෙකුයි. මම උඩට වෙලා ඉතින් ඔය අලි රංචුව ඇවිත් යන හැටි හැමදාම බලාගෙන.

ඔය ඇතා හරි ප්‍රසිද්දයි. කිව්වෙ දල පූට්ටුවා කියලා. ඇතින් වැවෙන් එගොඩ වෙද්දිම මම ඉතින් බලා ගෙන. ඇතාව මැදි කරගෙන තව ලොකු අලි දෙන්නෙක් දෙපැත්තෙන් කොයිවෙලාවෙත් ඉන්නවා. ඉතින් මේ ඇතා දලු කන්න හොඬේ උස්සද්දි පාත් කරද්දියි හරි ලස්සනට 'සලාං' කියල සද්දෙ ඇහෙනවා. මං හිතන්නෙ මහත්තයො ගජ මුතු වල වෙන්න ඇති. දවසක් පැලේ ඉද්දි එක පාරටම වෙඩි සද්දයක් ඇහුනා. එදා රැ එලි වෙනකල්ම අලි රන්චුව කැ ගැහුවා. පහුවදා තමයි දන්නෙ කවුරු හරි ඇතාට වෙඩි තියලා. මමත් ඊට පස්සෙ ඒ පැත්ත දාල ආවා මහත්ත්යො ගාමිනි දුකෙන් ඒ අතීතය සිහි කරයි.