Sunday, May 13, 2012

රට යන අත මට දැනෙන හැටි...

අයියෝ සල්ලි... උදේ යනවා හවසට එනවා. පාරට බැස්සම හැමදාම කඩියො වගෙ දුවන සෙට් එක දකිනවා. හවසට ඒ ටිකම ආපහු ගෙදර දුවනව දකිනවා. යන එන ගමන් කඩල අන්කල් ගෙන් කීයක් හරි දීලා මොනවා හරි කන ගමන් බෝඩිමට යන එක තමයි වෙන්නේ. වෙනදට වඩේ අරන් ඉතිරි දහයට කඩල ටිකක් ගන්නවා. ගිය සතියෙත් ගත්තා. ඒත් අද පුතා ඉතිරි දහයට දෙන්න දෙයක් නැ කිව්වනෙ. 

මම එහෙම කිව්වෙ රුපියලට ගිය කලට වඩා දහයට වෙලා තියෙන දේ කියන්න. කොහොම හරි දැන්නම් තත්වෙ එච්චර සුබ නෑ කියල කාට කාටත් තේරෙනවනෙ. මම මේවා කියන්නෙ ආණ්ඩු පෙරලන්නවත් එහෙම නැත්නම් විවේචනය කරලා පොරක් වෙන්නවත් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන මිනිස්සු විදියට අපි සාමාජීය ප්‍රශ්ණ ගැන පුලුල් කතිකාවක් ඇති කල යුතු වෙනවා. 

අපේ රටේ මිනිස්සු වෙන රටවල මිනිස්සුන්ට වඩා වෙනස් කියලා අර ඇඩ් එකෙත් කියන්නෙ. අපේ මිනිස්සු හිනා වෙලා සතුටින් සරලව ජීවත් වෙන්නයි කැමති. මට නම් දැන් පාරට බැස්සම දැනෙන්නෙ මිනිස්සු ලොකු පීඩනයකින් ජීවත් වෙන බව. පොඩි එකාව ඉස්කෝලෙට දානකම් ගින්දර. ඊට පස්සෙ වියදම සීමාවක් නෑ. 



කොහොම උනත් පාන් කන්න බැරිනම් කේක් කාපල්ල කියලා කියන දවස වැඩි ඈතක නෙමෙයි වගේ. උන්ටම ගියපු රට. එහෙම කිව්වෙ දේශ පාලුවන්ට. උන්ට ඉතින් ඔය අමාරුකම් තේරෙන එකක්යැ.

වෙලාවකට මෙහෙමත් හිතෙනවා. අපේ රජතුමාට ඇත්තටම රටවැසියට මේක සුරපුරක් කරලා දෙන්න ඕනකමක් ඇති. ඒක ඉතින් කරපු, කරන්න හදලා එරුනු, සහ කරන්න හදන මහා වැඩ වලින් පේනවනෙ. එත් රටවැසියට මෙච්චර කෙලවෙලා ඉන්නෙ ඇයි එහෙනම් කියලත් බලන්න වෙනවා.

 මට තේරෙන විදියට රාජ සභාවයි රාජ පුරුෂයො ටිකයි වැඩේ වැරදියටයි තේරුම් අරන් ඉන්නෙ. උන්ගෙ හිතේ රජතුමා රට වැසියට නෙවෙයි අපිට කරගන්නයි මේ වරම දුන්නෙ කියලා. 



මේක දැන් පිලිලයක් වෙන තරමට වැඩි වෙලානෙ. ඒක හන්ගන්න ඕනේ නෑ. මොකද පාරට බැස්සම දකින සහ අත් විදින දෙවල් අමුතුවෙන් කිවයුතු නෑ. මට හිතා ගන්න බැරි මෙච්චර පෙනි පෙනී රාජ සභාවයි රාජ පුරුෂයොයි පිස්සු කෙලිද්දි රජතුම මර නින්දෙ ඇයි කියලා. එහෙම බලද්දි නම් මම හිතුව විදිහ වැරදියි. ඉතින් රට වැසියන්ට මක්කෙයි හිතෙන්නෙ කිව්වනම්...

Tuesday, October 11, 2011

සරසවියෙන් රැකියාවට...රැකියාවෙන් රැකියාවකට....

කාලෙකට පස්සෙ ආයෙත් ලියන්න හිතුනා. ජීවිතේ අත්දැකීම් එකතු වෙද්දි මට හිතෙනවා මොනවා හරි ලිව්වොත් කාට හරි ප්‍රයෝජනයක් තියේවි කියලා. ඒක නිසා මම ලියන්න ආයෙත් පටන් ගන්නවා. සරසවියෙදි මට නිතරම හිතුනු දෙයක් තමා දැන් ඉගෙන ගත්තා ඇතිනෙ රස්සාවක් කරන එක තමයි හොඳම දේ විදියට. ඒක නිසාම අන්තිම අවුරුද්දෙ උත්සහ කලේම රැකියාවක් සඳහා ඕන වෙන සුදුසුකම් සපුර ගන්න එක.

හිතේ තිබුනු ආසාවට හරියන ජොබ් එකක් හොයාගන්න එක නම් අමරු වැඩක් කියල තේරෙන්නෙ රස්සාවල් හොයන්න ගියාම. එහෙම උනාම වෙන්නෙ හම්බෙන එක කරගෙන ඉන්න තමා. ඒත් මම නම් උත්සහ කලේම මම කැමති සහ ආසාව තිබුනු තැනට යන්නම තමයි. ඒක හින්දම ජොබ් දෙකකින්ම අයින් උනා. ඒක වැරදි වැඩක් තමයි. ඒත් අපි ජීවිතෙ වටිනාම කාලයෙන් වැඩිම හරිය ඉන්න තැන තමයි එතන. ඉතින් හිතේ කැමැත්තක් නැතුව ඉන්න එක තේරුමක් නැ ඊට වඩා අවස්ථාවක් තියෙනවනම්.


මොනාවා උනත් අපි කැමත්තෙන් ඉන්න ජොබ් එක සමහරවිට අපි හිතන එක නොවෙන්න පුලුවන්. ඒකට හේතුව අපි ඒක කරලා නැති නිසා ඒ ගැන හරියටම දන්නෙ නැති එක. තවත් දෙයක් වෙන්නෙ එකම ජොබ් එක උනත් තැන අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්. කොහොමත් ඒ කාරණාවෙදි නම් ඕනම කෙනෙක් අසරණ වෙනවා. ඒ වෙලාවට හැමතැනම එකම විදිය තමයි කියල හිත හදාගෙන වැඩ කරන අය තමයි මට ගොඩක් හම්බවුනේ.


රැකියාවෙදි අපි බලාපොරොත්තු වෙන දේ සහ අපිට ලැබෙන දේ අතර ඇති වෙනස අඩු කරගන්න පුලුවන් කොහොමද. ඒ ගැන අත්දැකීම් ඇති නැති හැමෝටම මේ සංවාදයට එකතු වෙන්න කියල ආරාධනා කරනවා.

Saturday, May 14, 2011

මතකයේ රැඳි මිනිසෙක්......

කාලෙකට පස්සෙ තමයි වෙලාවක් ලැබුනෙ blog එකක් ලියන්න. ලියන්නෙ නැති උනාම කියවනවත් අඩුවෙනවා. මොනා උනත් මේකෙන් ලියන්නෙ මගෙ හිතේ රැඳුනු මනුස්සයෙක් ගැන. එහෙම කිව්වම සමහර අයට හිතෙයි මම මේ කවුරු හරි ලංකාවෙ ඉන්න පට්ට ඩයල් එකක් ගැන ලියන්න හදනව කියලා. අනේ නැ. මූ මගෙ ජීවිතේ ටිකක් ලඟින් ඇසුරු කරපු ඩයල් එකක්. හරි අපූරු මනුස්සයෙක්. :)

ඔහු නමින් මගේ ගමේ කවුරුත් දන්නෙ ගාමිනි අය්යා විදියට. මීට අවුරුදු 5කට විතර කලින් වයස 45 ක් විතර ඇති. ඉතින් මම චූටි කාලේ ඉඳලා මැන්ව දන්නවා. ගොවිතැනක් කරගෙන ජීවත් උනාට business ගැන සැහෙන්න උනන්දුයි. business කිව්වට ඔය පොඩි පොඩි එළවලු සීන් තමයි ඉතින්. කොහොම හරි පිටිසර ගම් ගණනාවකම ජීවත් වෙලා තිබුනා. හේන් එහෙමත් මීට කාලෙකට කලින් කරල තිබුනා. ඉතින් මට campus එන්න කලින් මල්ලි කියලා කතා කලෙ. ආවට පස්සෙ මහත්තයා කියල තමා කිව්වෙ. ඒ තරමටම ඉගෙන ගන්නයි ඉගෙන ගන්න අයටයි කැමතියි.

කියන්න දේවල් ගොඩක් තිබුනට මට කියපු එක කතාවක් විතරක් කියන්නම්. මම campus ඉඳලා ගෙදර යන්නෙ කාලෙකින්. අපේ ගෙවල් ලඟින් මල අතු ඔයේ අතු ශාඛාවක් යනවා. ඒ නිසා ගෙදරට ටිකක් එහායින් කුඹුරු යායක් තියෙනව. ඉතින් උදේ පාන්දරම ගාමිනි අය්යා කුඹුරු පැත්තට යද්දි මාව දැක්කා. මූන පුරා ලොකු හිනවකුත් එක්ක මං ළඟට ඇවිත් මහත්තය එන බවක් කලින් කිව්ව නම් මම බඩ ඉරිඟු ටිකකුයි එළවලු ටිකකුයි ගෙනල්ලා තියෙනවනෙ ඔහු එලෙසින් තම කුඹුර ගැනත් එහි කොනකට වන්නට තනා ඇති පැලේ විස්තරත් මට කියයි. මහත්තයට පුලුවන් නම් අද පැලට එන්න අපි බඩ ඉරිඟු ටිකක් එහෙම පුච්චලා ගමු. මට එක දෙයක් මතකය. එනම් ඔහුගේ නිවසේ වහලයෙ පොල් අතු අතරින් ගැසූ බට නලාවක් ඇති බවය. සමහර දවස් වල මම ඔහුට කියා කපුගේ ගේ සින්ඳු වලට වයන්නට කියා අසා සිටි අයුරු අද වාගේ මතකයි. මම හවස 7ට විතර මිදුලට වෙලා ඉද්දි ඇත වෙල් යාය මැද්දෙන් හීන් හඬින් බට නලා සද්දෙ ඇහෙනවා. මේක මුලු ගමටම පුරුදු දෙයක්. ගාමිනි පැලට ගිහිල්ලා. තාත්තා මා දෙස බලා කිව්වේ මා ඒ ගැන් විපරම් කරන බව දන්නා නිසා වෙන්න ඇති. 


කොහොම හරි පහුවදා උදේම මම මූණ හෝදන්න යද්දි මේසෙ උඩ එළවලු ගොඩකුයි බඩ ඉරිඟුයි තියෙනව දැක්කා. ඔන්න ඔයාට හදල දෙන්න කියල ගාමිනි උදේම ගෙනත් දුන්නා අම්මා කියයි.

හවස නැවත ඔහු මට මුණ ගැහුනෙ සුපුරුදු පරිදි ඔහු පැලට යද්දි. මම ඉතින් ඔහුගෙන් ඔහු කලින් සිටි පෙදෙස් වල පැල් රැක්ක හැටි අහනව. ඔහුත් හැමදාම කතාවක් කියල තමයි යන්නෙ.

මහත්තයො මම ටික කාලයක් හල්මිල්ලකුලමෙ හේනක් කලා ඒ කාලෙ දැන් වගේ නෙවෙයි කැලේ තමයි වටේටම තිබුනෙ. හවස් වෙද්දි හේන් වලට අලි රංචු එනවා. මගෙ පැල තිබුනෙ ලොකු ගහක් උඩ. එකට කැලේ සැහෙන දුරක් පේනවා. ඔය කැලේ හිටියා අලි රංචුවකුයි ලොකු ඇතෙකුයි. මම උඩට වෙලා ඉතින් ඔය අලි රංචුව ඇවිත් යන හැටි හැමදාම බලාගෙන.

ඔය ඇතා හරි ප්‍රසිද්දයි. කිව්වෙ දල පූට්ටුවා කියලා. ඇතින් වැවෙන් එගොඩ වෙද්දිම මම ඉතින් බලා ගෙන. ඇතාව මැදි කරගෙන තව ලොකු අලි දෙන්නෙක් දෙපැත්තෙන් කොයිවෙලාවෙත් ඉන්නවා. ඉතින් මේ ඇතා දලු කන්න හොඬේ උස්සද්දි පාත් කරද්දියි හරි ලස්සනට 'සලාං' කියල සද්දෙ ඇහෙනවා. මං හිතන්නෙ මහත්තයො ගජ මුතු වල වෙන්න ඇති. දවසක් පැලේ ඉද්දි එක පාරටම වෙඩි සද්දයක් ඇහුනා. එදා රැ එලි වෙනකල්ම අලි රන්චුව කැ ගැහුවා. පහුවදා තමයි දන්නෙ කවුරු හරි ඇතාට වෙඩි තියලා. මමත් ඊට පස්සෙ ඒ පැත්ත දාල ආවා මහත්ත්යො ගාමිනි දුකෙන් ඒ අතීතය සිහි කරයි.


Monday, February 14, 2011

බලා ගෙන උන්නාම....

ගාලු කොටුවෙ බැම්මට වෙලා
ඇත ක්ෂිතිජයෙ රත්තරන් පාටින්
ඉර මුහුදෙ ගිලෙන හැටි
බලා ගෙන උන්නාම....

ඉර අවරට ගිහින්
ටිකෙන් ටික කළුවර වැටෙද්දි
ඇතින් එක පේලියට
ගොඩබිමට ඇදෙන ඔරු දිහාවෙ
බලා ගෙන උන්නාම....

රැල්ලෙන් රැල්ල එකතු වෙලා
වේගයෙන් ගලාගෙන ඇවිත්
ගල් බැම්මෙ හැපිලා
වතුර බින්දු විසිරිලා යන හැටි
බලා ගෙන උන්නාම....



මට මතක් වෙන්නෙ
බොඳවුණු අහින්සක ඇස් දෙකින්
මං එනතුරු
මග බලාගෙන ඉන්න
ඔයාව....

Thursday, February 3, 2011

ඔබ ගියා මා හැර දමා...

ජීවිතේ ළඟ දැනෙනවා...දැනෙනවා...
ඒ සිනා හඬ ඇහෙනවා...ඇහෙනවා...
ඔබේ ළමැදේ... දැනුණු පහසේ...
සිහින් නෙතඟේ.. රැඳුනු බැල්මේ...
මගේ සිත අද අතරමන් වෙලා...
ජීවිතේ මගෙ සොයනවා...සොයනවා...

සැරිසරා ම්0 මාවත් දිගේ....
වින්ඳා අපමණ දුක් ගිනී..
දැනුනෙ නැ මට කිසිදිනේ..
ජීවිතේ මගෙ ඔබ නැතී..


ගැන්නා අහසේ තරු පවා..
හිනැ හුනා සඳ රැය පුරා..
සැලුනා කඳු ලැලි නෙතු සලා..
ඔබ ගියා මා හැර දමා...

(පද වැල් නා ..මලෙන්)