Friday, December 27, 2013

අනේ අපි බස් වල යන හැටි...

මම මේ අපි බස් වල ගමන් කරද්දි විදින්න වෙන වින්නැහිය ගැන කීප ගමනක්ම ලියන්න හිතා ගෙන හිටියට මොකද ලියනවා තියා ලියාපු එකක් බලන්නවත් නෑනේ ඉතින් වෙලාවක්. අපිට කැම්පස් ඉද්දි තිබුණු නිදහස නම් කියන්න වචන නෑ. දැන් ඉතින් උදේම නැගිටල ඔෆිස් දිව්වා. හැමදාම කරන දේවල් ටිකම කලා. රෑ වෙලා ගෙදර එනවා.

බස් ගැන කතා කරද්දි කතා කරන්න දේවල් ගොඩක් තිබුනට, මට ඕනේ දුර ගමන් සේවා සපයන බස් වල දාන සින්දු ගැනයි ඒවයෙ යද්දි වෙන අකරතැබ්බ සහ කෑම ගන්න නවත්තන ස්ථාන ගැනයි කතා කරන්න.

බස් එකට නගිනකොට කියනව සීට් තියෙනවා නගින්න නගින්න කියල. ඊට පස්ස්é ටිකට් එකත් දෙනව අතට. සල්ලිත් දීල හිටගෙනම යනවා සෑහෙන දුරක්. අපෙ රටේ මිනිස්සු අනිත් එකාගෙ කකුල් කැඩුනත් මොකද කියලා වාඩි වෙලාම ඉන්නවා ඇර නිකමටවත් සීට් එකක් බෙදාගෙන පුරුද්දක් නෑ. සමහරු වාඩි වෙලාම ගිහින් කකුල් රිදෙනවට ටිකක් හිටගෙනත් වාඩි වෙනවා. ඒ ලඟම තව මනුස්සෙයෙක් එච්චර දුරක් හිටගෙන ඇවිත්කෙලින් ඉන්න බැරුව ඉන්නවා. එත් සීට් එකක් බෙදගෙන පුරුද්දක් නෑ.

ඒකෙ තියෙන දුකම හිතෙන දේ තමයි දෙන්නම ගෙවලා තියෙන්නෙ එකම මුදලක්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ. හැමෝටම දුර ගමන් සේවා බස් රථ වලදි කිසියම් දුරක් ගියාම හිටගෙන ඉන්න අයටත් සීට් එක හුවමාරු කරගෙන යන්න පුරුද්දක් ඇති කරන්න ඕනේ.

ඊට පස්සෙ වෙන ලොකුම කරදරය තමයි බස් එකෙ කොත්තු සංගීතය විඳින්නට සිද්ධ වෙන එක. මේක තනිකරම මනුස්සෙයෙක්ට නිදහසෙ ජීවත් වීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීමක්. කිසිම බස් එකක කලාත්මක ගීත අහන්න ලැබෙන් නැ. ඉතින් මේකෙ ගමන් කරන බොහෝ දෙනෙක් අමාරුවෙන් තමයි ඕවා අහගෙන යන්නෙ.


හොදම දේ තමයි බස් රථ වලදී භාවිතා කරනු ලබන තැටි සඳහා ප්‍රමිතියක් ඇති කිරීම. එය සමාජයේ යහ පැවැත්ම උදෙසා හුදෙක් බලපාන්නක්.

තවත් බරපතල කාරණයක් තමයි බස් ගමන් අතරතුර මගීන්ට තේ සහ ආහාර පාන ලබා ගැනීමට නවවත්වනු ලබන ස්ථාන. කිසිදු පිරිසිදුකමකින් තොර වූත් කිසිදු නැවුම්භාවයකින් තොරවූත් ආහාර සම්මත මිල ගණන් ඉක්මවා විකුණන තැන් වලමයි බස් එක නවත්වන්නෙ. මේවා ගැන වගකිව යුතු අංශ ඒ දෙස නොබැලීම පුදුමයට කරුණක්..

Saturday, August 31, 2013

සෙංකොට්ටං.....

සෙංකොට්ටං.....

මේ එළඹ ඇත්තේ කියවන මාසයයි. මේ මාසෙ ඉතින් අපි කවුරුත් දකිනවා පොත් ප්‍රදර්ශණ එහෙම හැමතැනම වගෙ. ඉතින් මාත් අහම්බෙන් දැක්ක අනුරපුරෙත් එහෙම එකක් තියෙන විත්තිය. වෙන වැඩකට ගියා උනත් ආසාවටම ගියා පොත් බලන්න. BMICH යන්න හිතාගෙන උන්නත් මෙදා පොතක් දෙකක් ගන්න කියාපු තැනක් කියල හිතුනෙ හොඳම පොත් එකතුවක් එතන තිබුනු හින්දමයි. මොනා උනත් සංවිධායකයන්ට පින් අයිති වෙන්ඩ පොත් 5,6 ක්ම ගත්තා අතේ සල්ලි තිබුනු හැටියට.

පොත් ගනිද්දි ඉස්සෙල්ලම මම ගන්නෙ සිංහලේ මහ ගත් කතුවරයන්ගෙ පොත් අතරෙ මට කියවන්නට බැරිඋනු ඒවා. මාටින් වික්‍රමසිංහයන්ගෙ වහල්ලු, සයිමන් නවගත්තෙගමයන්ගෙ බාවනාව ගත්තා. ඊට පස්සෙ නවකතාවක් තෝරන ගමන් මට මතක් උනේ පැන්ඩා(ජනප්‍රිය බ්ලොග් ලියන්නකු වෙයි. ) FB දාල තිබුනු පොත් වට්ටෝරුව.  කොහොමෙන් හරි මම දැක්කා සෙංකොට්ටං කියලා නමක් තිබුනු පොතක්.

ඒක ලියලා තියෙන්නෙ මහින්ද ප්‍රසාද් මස් ඉඹුල කියන අපේ කලෙ කොල්ලෙක්. සුචරිත ගම්ලත් ශුරීන්ගේ සිත්ගන්නා සුලු විවරණයක් තිබුනා මුල් පිටුවෙම. අතරින් පතර කියවපු පිටු අතර මං දැක්කෙ අපූරු වැකි. මං ඒක ගත්තා.

සෙංකොට්ටං හරි අපූරු කතාව. නවගත්තෙගමයන්ගෙ, වික්‍රමසින්හයන්ගෙ පොත් කියවන මට අලුත් පොත් කියවද්දි එවයෙ භාෂාව ගැන දුක හිතෙනවා. කම්මැලියි. ඒත් මස් ඉඹුලයන් හරි අපූරුවට ඉතා උසස් රසාස්වාදයක් පාඨකයාට දෙන්නෙ ඔහුගේ භාෂාව හැසිරවීමේ ගුණාත්මකභාවය මොනවට පැහැදිලි කරමින්.
 
 
සෙංකොට්ටං තුලින් ගෙන එන කුල භේදය සහ ඒ නිසාවෙන් මිනිස් බවයක් ලැබූ පව ගෙවන මිනිසුන් අරඹයා අපූරු පෙල ගැස්මකුත් හුදෙක් පට බැඳීමකට එහා ගිය පර්යේෂාණාත්මක ඉතිහාසයක් මනාවට ඉදිරිපත් කර ඇත්තේ යථාර්තවාදීවය. හුදෙක් බොලඳ නවකතාවක් කියවනවාට වඩා ඉතා අනර්ග අන්තර්ගත්යක් මෙහි ඇති බව ඕනෑම අයකුට කියවීම ඇරඹූ මොහෙතේ සිටම පැහැදිලි වේ. 

මේ කතාවේ එන වීරප්පුලි හේනයා, නම්බු හේනයා, බබා හේනයා, මල්ම රිදී, පොඩිනා, හීං රිදී යන චරිත මෙකලද වෙනස් වූ ස්වරූපයෙන්  දක්නට ඇත. තවමත් විවාහ යෝජනා තීරුවෙහි කුලය සඳහන් කරන්නෝ බහුලය. මස් ඉඹුලයන් ඉහත කී චරිත ඉතා උසස් වූ අයුරින් විශ්ලෙෂනාත්මකව ඉදිරිපත් කොට ඇති අයුරුව සිත් බැඳගනියි.

මෙලෝ හසරක් නොදන්නවුන් ලෙසින් උදේ සිට රෑ වන තුරු සීතල කන්තෝරු කාමාර වලද ඉතිරි හරිය මත් දිය තොල ගමින් රැඩිකල් සංගීත නාද අතරෙ ගෙවෙන ජීවිතයට මොහොතක් සමු දී මස් ඉඹුලයන්ගේ සෙංකොට්ටං කියවා තමන් මේ මිනිස් බවය තුල හිඳිනා තැන ගැන අවබෝධයක් ලබන්නට ආරාධනා....

Sunday, April 21, 2013

රජරට ගොවිතැනට වෙන්න යන දේ...

අද අපේ රටේ ගොවියා ඉන්නෙ ඉතාම අසරණ තැනක. ඒකට හේතුව සරල දෙයක් නොවන වග නම් අපිට පැහැදිලියි. කාලයක් තිස්සෙ කිසිදු සැලසුමක් නැතිව ගොවිතැන සහ ගොවියා විවිධ දේශපාලන බලවේගයන්ට නතු වෙමින් අද වෙද්දි ඉතාම දුක්කිත තත්වයට ඇද වැටිලා.


මේකට ප්‍රධාන හේතුව විදියට මම දකින්නෙ පාරම්පරිකව ගොවි කර්මය පිලිබඳව අප ගෙනා දැනුම මතු පරපුරට නොලැබී යාම සහ පැරැණි තාක්ෂණය නොගැලපීමයි.

කොහොමත් අද වෙද්දි තරුණ කොල්ලෙක්ට කුඹුරකට බැහැලා වැඩ කරන්න හිතෙන්නෙ නැ. ඒකට වග කියන්න ඕනේ මේ රටේ ජඩ මාධ්ය සහ රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයයි. ගොවිතැන කියන්නෙ රජෙක් වගෙ කරන්න පුලුවන් දෙයක්. ගාමන්ට් ෆැක්ටරියක බැනුම් අහ අහ අනුන්ගෙ රෙදි මහලා අනුන්ට හම්බ කරල දෙනවට වඩා දෙයක් තමන්ගෙ බිම් අඟලක වගාවක් කරලා ගන්න පුලුවන්.



මිනිස්සු හිතන්නෙ කාගෙ හරි යටතෙ ටයි පටි බැඳන් කවුරු හරි යටතෙ කොන්ද නවා ගෙන අනුන්න්ට හම්බ කරලා දීලා ඒක වෙනුවට මාසෙ අන්තිමට හම්බෙන තුට්ටු දෙක ගැන මිසක් තමන්ගෙ සැබැ සැනසුම නෙවෙයි.



මට නම් දැන් පේන්න තියෙන්නෙ කුඹුරු වලට වතුර දීලා. ඒත් කුඹුරු කරවන්න ඕන කරන ශ්‍රමය දෙන්න කවුරුවත් නැ. ගමේ තරුණයින් රැකියවන් සොය නගර ගත වෙලා. අපි යන්නෙ කොහාටද කියලා කවුරුවත් දන්නෙ නැ.


අද මේ වෙල තියෙන හැම දෙයක්ම අපිට ආපහු හරවන්න පුලුවන්. ඒකට ඕන වෙන්නෙ නිවැර්දි අවබෝධය තුලින් හරි ආකල්ප මිනිස්සුන්ට ලබා දීමයි. එහෙම උනොත් මෙහෙම මිනිසුන් දකින්න පුලුවන්.