Saturday, August 31, 2013

සෙංකොට්ටං.....

සෙංකොට්ටං.....

මේ එළඹ ඇත්තේ කියවන මාසයයි. මේ මාසෙ ඉතින් අපි කවුරුත් දකිනවා පොත් ප්‍රදර්ශණ එහෙම හැමතැනම වගෙ. ඉතින් මාත් අහම්බෙන් දැක්ක අනුරපුරෙත් එහෙම එකක් තියෙන විත්තිය. වෙන වැඩකට ගියා උනත් ආසාවටම ගියා පොත් බලන්න. BMICH යන්න හිතාගෙන උන්නත් මෙදා පොතක් දෙකක් ගන්න කියාපු තැනක් කියල හිතුනෙ හොඳම පොත් එකතුවක් එතන තිබුනු හින්දමයි. මොනා උනත් සංවිධායකයන්ට පින් අයිති වෙන්ඩ පොත් 5,6 ක්ම ගත්තා අතේ සල්ලි තිබුනු හැටියට.

පොත් ගනිද්දි ඉස්සෙල්ලම මම ගන්නෙ සිංහලේ මහ ගත් කතුවරයන්ගෙ පොත් අතරෙ මට කියවන්නට බැරිඋනු ඒවා. මාටින් වික්‍රමසිංහයන්ගෙ වහල්ලු, සයිමන් නවගත්තෙගමයන්ගෙ බාවනාව ගත්තා. ඊට පස්සෙ නවකතාවක් තෝරන ගමන් මට මතක් උනේ පැන්ඩා(ජනප්‍රිය බ්ලොග් ලියන්නකු වෙයි. ) FB දාල තිබුනු පොත් වට්ටෝරුව.  කොහොමෙන් හරි මම දැක්කා සෙංකොට්ටං කියලා නමක් තිබුනු පොතක්.

ඒක ලියලා තියෙන්නෙ මහින්ද ප්‍රසාද් මස් ඉඹුල කියන අපේ කලෙ කොල්ලෙක්. සුචරිත ගම්ලත් ශුරීන්ගේ සිත්ගන්නා සුලු විවරණයක් තිබුනා මුල් පිටුවෙම. අතරින් පතර කියවපු පිටු අතර මං දැක්කෙ අපූරු වැකි. මං ඒක ගත්තා.

සෙංකොට්ටං හරි අපූරු කතාව. නවගත්තෙගමයන්ගෙ, වික්‍රමසින්හයන්ගෙ පොත් කියවන මට අලුත් පොත් කියවද්දි එවයෙ භාෂාව ගැන දුක හිතෙනවා. කම්මැලියි. ඒත් මස් ඉඹුලයන් හරි අපූරුවට ඉතා උසස් රසාස්වාදයක් පාඨකයාට දෙන්නෙ ඔහුගේ භාෂාව හැසිරවීමේ ගුණාත්මකභාවය මොනවට පැහැදිලි කරමින්.
 
 
සෙංකොට්ටං තුලින් ගෙන එන කුල භේදය සහ ඒ නිසාවෙන් මිනිස් බවයක් ලැබූ පව ගෙවන මිනිසුන් අරඹයා අපූරු පෙල ගැස්මකුත් හුදෙක් පට බැඳීමකට එහා ගිය පර්යේෂාණාත්මක ඉතිහාසයක් මනාවට ඉදිරිපත් කර ඇත්තේ යථාර්තවාදීවය. හුදෙක් බොලඳ නවකතාවක් කියවනවාට වඩා ඉතා අනර්ග අන්තර්ගත්යක් මෙහි ඇති බව ඕනෑම අයකුට කියවීම ඇරඹූ මොහෙතේ සිටම පැහැදිලි වේ. 

මේ කතාවේ එන වීරප්පුලි හේනයා, නම්බු හේනයා, බබා හේනයා, මල්ම රිදී, පොඩිනා, හීං රිදී යන චරිත මෙකලද වෙනස් වූ ස්වරූපයෙන්  දක්නට ඇත. තවමත් විවාහ යෝජනා තීරුවෙහි කුලය සඳහන් කරන්නෝ බහුලය. මස් ඉඹුලයන් ඉහත කී චරිත ඉතා උසස් වූ අයුරින් විශ්ලෙෂනාත්මකව ඉදිරිපත් කොට ඇති අයුරුව සිත් බැඳගනියි.

මෙලෝ හසරක් නොදන්නවුන් ලෙසින් උදේ සිට රෑ වන තුරු සීතල කන්තෝරු කාමාර වලද ඉතිරි හරිය මත් දිය තොල ගමින් රැඩිකල් සංගීත නාද අතරෙ ගෙවෙන ජීවිතයට මොහොතක් සමු දී මස් ඉඹුලයන්ගේ සෙංකොට්ටං කියවා තමන් මේ මිනිස් බවය තුල හිඳිනා තැන ගැන අවබෝධයක් ලබන්නට ආරාධනා....

1 comment:

  1. මේ පොත කියෙව්වා..... මේ පොත නූතන ලේඛක හා කියවන්නන්ගේ අතර වයිරල් වෙලා තියනවා.... හැමෝම පොත ගැන කතා කරනවා... හැමෝම කතා කරන නිසා අනිත් අයත් කතා කරනවා....

    මට නම් මේ පොත තොරොම්බල් වචන එල්ලපු සරල සිද්ධි මාලාවක් විතරයි... උඩින් කඩන් පාත්වෙච්ච රිසර්ච් කෑල්ලක් මේකෙ අගට එල්ලලා තියෙන්නෙ මේ පොත ලේඛකයාගෙ රිසර්ච් එකක ප්‍රථිපලයක් බව මවාපෙන්වන්න වගෙයි.....

    මේ පොත මෙවර සම්මාන ලබන්න සුදුසු පොත් අතර ඉහලින්ම ඉන්න එකෙන් නැවත නැවතත් සාක්ෂාත් වෙන්නෙ ලාංකීය සාහිත්‍යය ලෝක සාහිත්‍යය අතරට එක් වෙන්න තව සියවස් ගානක් යයි කියලයි....

    ReplyDelete

හිතෙන දෙයක් කොටල යන්න ....