Tuesday, September 21, 2010

සරසවියට සමුදෙන්නට.........2

මට දැන් මාව දැනෙන්නේ මම මගේ කියල නෙවෙයි, මේ රටේ මිනිස්සුන්ට අයිති යන්ත්‍රයක් විදියට. මම එහෙම කිව්වෙ ඇයි කියල මේ වගේ නිදසුනකින් පැහැදිලි කරන්නම්.

මීට කාලෙකට ඉස්සර වන්නි මෙහෙයුම් පටන් ගන්න කලින් රජය ත්‍රිවිධ හමුදා වලට අලුතෙන් ගොඩාක් සෙබළු බඳව ගත්තා. මාත් එක්ක එකට ස්කෝලෙ ගියපු යාලුවො ගොඩාක් ඒ කාලෙදි යුධ හමුදාවට බැදුනා. කීප දෙනෙක්ගෙ applications පිරෙව්වෙත් මම. ටික කාලෙකට පස්සෙ එහෙම ගියපු එක යාලුවෙක් නිවාඩු ඇවිත් ඉද්දි මාත් ගෙදර හිටියෙ. හරියටම ඒ කාලෙදි තමයි කිලිනොච්චි බැම්ම අල්ලන කාලේ. ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් දෙන්නගෙ team දෙක දරුනු විදියට සටනෙ හිටපු යුගය. අපිත් campus එකේ නිතරම කතා කරපු topic එක වෙලා තිබුනෙ යුද්ධය. මම ඉන්දිකගෙන් ඇහුවා කොහොමද ජීවිතේ කියලා. ලැබුනු උත්තරේ තමයි මේ යුද්දෙ ඉවර වෙලා තමයි ජීවිතේ ගැන හිතන්නෙ කියන එක. ඔහු ඒ තරමට තම රැකියාවත් එක්ක බැඳිලා. මගේ ඊලග ප්‍රශ්නෙ වුනේ මචන් මැරෙනවා කියලා දැන දැනත්,  බය නැද්ද ඉස්සරහට යද්දි කියන එක. ඉන්දිකත් ඒ වෙද්දි හිටියෙ කිලිනොච්චි  මෙහෙයුම් ආසන්නම තැනක. මචන් weapon එක අතට ගත්තට පස්සෙ ගෙවල් මතක නැ. ඇහෙන්නේ කොල්ලො කැ ගහන සද්දෙ විතරයි. එකට යන කොල්ලෙක්ට වෙඩි වැදුනම මරා ගෙන මැරෙන්න තරම් තරහක් හිතට එනවා. ඒ වෙලාවට අපි ගැන ගානක්වත් නැ.


සිව්වැනි ඊලාම් යුද්ධෙදි මරු කපොලු අතරෙ එකා පිට එකා මැරිල වැටෙද්දිත් ඔන්න ඔය වගේ රත්තරන් කොල්ලො තමන්ගෙ ජීවිත මේ රටේ මිනිස්සු වෙනුවෙන් පූජා කරපු නිසයි අද අපි ආඩම්බරෙන් කතා කරන මේ රට අපිට ඉතුරු වුනේ.

ඒ තමයි මේ රට වෙනුවෙන් හදපු මිනිස් යුධ යන්ත්‍ර. ඒ අයට පෞද්ගලික අරමුනු වලට වඩා වැදගත් වෙන්නෙ රටේ ආරක්ෂාව. තමන්ගේ රාජකාරිය. ඔවුන් ඔවුන්ගේ duty එක හරියටම කරපු නිසාවෙන් විශාල ජයග්‍රහණයක කොටස් කරුවන් වෙන්න අවස්ථාව ලැබුනා.

මට හිතෙන්නෙ සරසවි සිසුවා කියන්නෙත් මේ රටේ අනාගත සංවර්ධන කාර්යය ජයගන්න තනපු යන්ත්‍රය හැටියට. සරසවියට එන ඕනම කෙනෙකු වෙනුවෙන් මේ රටේ මහ ජනතාවගේ මුදලින් අති විශාල ගනනක් වියදම කරලා එක් එක් විෂයයන් උදෙසාම විශේෂී වූ පිරිසක් බිහි කරනවා. වෙද්‍ය, ඉන්ජිනේරු, ආර්ථික විද්‍යා.. ඕනැම ක්ෂෙත්‍රයක් වේවා ඔවුන් ඒ අදාල කාර්යයේ අති දක්ෂයින්. ක්‍රියාශීලි පිරිසක්. සැබවින්ම ඔවුන් තමන්ගේ යුතුකම නිසිලෙස ඉටුකලේ නම් මේ රටේ අනාගතය මීට වඩා යහපත් වනවාට සැකයක් නැ.

සරසවියෙන් පිට වෙලා යන සරසවි සිසුවා තම යුතුකම රටට ඉටුකරනවද එහෙමත් නැත්නම් පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කරගන්නවද.....


අපි ඊලඟ එකෙන් කතා කරමු..

Thursday, September 16, 2010

සරසවියට සමුදෙන්නට.........1

කාලය අපිටත් හොරෙන් ඉගිල්ලෙනවා. ජීවිතේ දැකපු ලොකුම හීනය සැබැ වෙලා , බයෙන් බයෙන් කැලණි කන්ද නැගලා ආපු ඒ පලවෙනි දවස අද වගේ මතකයි. දාහක් සිතුවිලි මැද්දේ වුනත් මහා කරුණාවෙන් වැඩ සිටින බුදු පිලිමය දකිද්දි අදටත් හිත මොහොතකට හරි නතර වෙනවා.

මේ අවුරුදු කීපය ඇතුලෙ මොන තරම් නම් දේවල් සිද්ද වුනාද...ස්කෝලෙන් ගත්තු අත්දැකීම් වලින් පස්සෙ සරසවි එන්නෙ පුදුම ආසාවකින්නෙ. ඒ ආසාවටම තමයි අර තාරුණ ජවයත් එක්ක අසීමිත දැනුමකට හිමිකම් කියන බුද්ධිමතුන් බිහිවෙන්නේ. ඒ වගෙම ගැටුම් ඇතිකරගන්නෙ. මොනාවුනත් කවුරුහරි මගෙන් ඇහුවොත් උඹ campus ගිහින් මොනවද ඉගෙන ගත්තෙ කියලා මගේ උත්තරේ තමයි "ජීවිතේ" කියන එක. ඒකෙන් මම අදහස් කරන්නේ මම ජීවිතය තුල දුක,සැප,සතුට සහ එහි ඇති සැබැ ස්වරූපය දැක්කෙ, අත්වින්දෙ campus ආවට පස්සෙ කියන එක. ඒක අපිට හොදටම තේරෙන්නෙ අපිත් එක්ක ඉඳලා අද වෙද්දි වෙන රැකියාවක් හෝ ඉගෙන ගන්න කෙනෙක් එක්ක හෝ කතා කරද්දි හරි හැසිරීම් හරි දකිද්දි.

සරසවිය තුලදි ඕනම අයෙක්,
1st year එකේදි අත්දැකීම් එකතු කරනවා, අත්දැකීම් ලබා ගන්නවා.
2nd year එකේදි ලබපු අත්දැකීම් විශ්ලේෂණය කරලා බලනවා..
3rd year එකේදි අත්දැකීම් වලින් ලබපු පන්නරයත් එක්ක ජීවිතය දකින්න සහ දිනන්න උත්සහ කරනවා.




මම අර කලින් කිව්වෙ මම ජීවිතය දකින්න ඉගෙනගත්ත කියල. ඒ ඉගෙන ගත්තෙ පොත් කියවලා, lectures වලින්ම නෙවේ, ප්‍රධානම සාධකය වුනේ අවට පරිසරය වටා හිටපු මිනිස්සු. මිනිස්සු කිව්වෙ undergraduates ලට. ඒක වචන වලින් කියන්න බැරි තරම් වුනු ආශ්වාදයක් වෙන්නේ බුද්ධිමතුන් සිටින තැනකදි දැනෙන සැබැ වෙනස නිසයි. අපි ගෙම්බො වගෙ නේද කලින් හිතුවෙ කියල තේරෙන්නේ කාලයත් එක්ක ලබන අත්දැකීම් වලින් පස්සෙ. තීරණ ගනිද්දි අපි කොයිතරම් සිතිය යුතුද කියන කාරණය විතරක් නෙවෙයි, ඒ එක තීරණයක් තුල රැදිලා තියෙන්නේ සමහරවිට මුලු මහත් රටක මිනිස්සුන්ගෙ අනාගතයට බලපාන දෙයක් කියල තේරුම් ගත්තෙ campus ඇවිල්ල.

මගේ  තර්කය හා මගේ අත්දැකීම අනුව කොල්ලෙක් හැදෙන්න නම් ලන්කාවෙ government university එකකට එන්නම ඕනි. මේ university life එක කියන්නේ ජීවිතේ ගැන දැන ගන්න ඕන හැමදේම දකින්න පුලුවන් තැනක්. මට දැන් මාව දැනෙන්නේ මම මගේ කියල නෙවෙයි, මේ රටේ මිනිස්සුන්ට අයිති යන්ත්‍රයක් විදියට. 

තව ගොඩක් දෙවල් කියන්න තියෙනවා. අන්තිම exam එකත් කරන ගමන් මේක ලිව්වෙ යන්න කලින් අත්දැකීම් ටික සටහන් තබන්න ඕන නිසයි.
ඉතිරිය ඊලඟ එකෙන් ....