Sunday, December 30, 2012

මා කියවූ විරාගය...

මා කියවීම හුරු කර ඇත්තේ පෙර පුරුද්දකටයැයි මට සිතෙයි. මා ඒ තරම්ම කියවීමට ඇලුම් කරන්නෙකි. මට කියවිය යුතු දෙ තෝරා බේරා දීමට කිසිවකු නොසිටියෙන් මා රිසි සේ අතට හසු දේ කියවන්නෙක් වී සිටියෙමි. එහෙත් වයසින් මුහුකුරා යත්ම කාලය සීමිත වී ඇත. අද මා කරන්නෙ මට අවශ්‍ය දේ නොව මුදල් ඉපයීමට අවශ්‍ය දේවල්ය. එහෙයින් ම හැඟි සේ කටයුතු කෙරෙන්නෙ එහෙමත් නිවාඩු දවසකය.

කාලයකට පසු නැවතත් කියවීම ඇරඹූ මා සයිමන් නවගත්තෙගමයන්ගේ කෘති කීපයක් කියවීමෙන් අමන්දානන්දයට පත් වූයෙමි. ඔහුගේ පොත් පිලිබඳව පසුව සටහනක් තබන්නට සිතා සිටියත් එම කෘති කීපයක්ම බෝඩිමේ අමතක වූයෙන් එය පසුවට කල් තැබුවෙමි. මේ අතර මා කැලණි සරසවි දොරටුව අසලින් වෙනදා මෙන්ම පොත් දකිද්දී "විරාගය" දුටුවෙමි. මා කලක් තිස්සෙ කියවන්නට සිටි පොතක් බැවින් එය මිලට ගත්තෙමි. 


මාටින් වික්‍රමසින්හයන් යනු කොතරම් හසල නුවණකින් යුක්ත වූවෙක්දැයි මට සිතා ගත නොහැක්කෙ මා ඔහු අනුමාන කරන්නට තරම් උගතෙකු නොවන බැවිනි.එහෙත් මා ඔහුගෙ පොත්වල පිටු අතර අතරමං වූ සැටියෙන් ඔහුගේ දැනුම අබියස මා ළදරුවෙකු වූ බව කිව යුතුය. මම මගේ ජීවිතය අධ්‍යනය කරමි. එලෙසම මා වටා ජීවත්වන සීමිත වූ පිරිසකගේද ජීවිත දෙස සංසන්දනාත්මකව බලන්නට පුරුදු වූයෙක්මි. කියවන විටද බොහෝ දේ කියවන්නට පෙර මේ ලෙස විය යුතු යැයි සිතන්නට හුරු වූවෙක්මි. 

විරාගය කියවන විට නම් මා හට දැනුනේ මා ජීවිතයක් තුල අතරමන් වී ඇති අයුරක්ය. වෙනදා එක දිගට පොතක් කියවන මා විරාගය කියවන විට නම් මගින් මගට කියවීම නවත්වා දින ගණන් සිතන්නට වූයේ මා ගැන සහ මා අවට දකින මිනිසුන්ගෙ ජීවිත ගැනය. මා එවැනි කුතුහලය දනවන කෘතියක් මීට පෙර කියවූවේ නම් ඒ සයිමන් නවගත්තේගමයන්ගේ කෘති තුලිනි.  

ඒ සියල්ල අතරින් විරාගය නම් අති සුවිශෙශී එකකි. 

"මගේ පියා කළ කී ඇතැම් දේ වටහගැනීම මට නම් අමාරු කාරියක් නොවී ය. ඔහු ඉඳ හිට නොව  නිතර කළ බොහෝ දේ මට දැනුදු තේරුම් ගත නොහැකි ය.  ඔහු බඩුවක් මිලටගැනීමට ගොස් බෙහෙවින් හෙට්ටු කරයි. සත තුනකැයි නියම කරනු ලැබූ බඩුව වුවද ඔහු පළමුව සතයට ඉල්ලයි. දෙවනුව සත දෙකට ඉල්ලයි. ඔහු ඉල්ලන අවසාන මිලට නුදුන්නොත් ඒ බඩුව සත් තුනට නොව සත තුන හමරට වුවද අනික් තැනින් ගනියි. එක වෙළෙන්දකු සත විසිපහට විකුණන බඩුව තවත් එකකු සත විස්සට විකුණුවද දෙවැන්නගෙ බඩුව ඔහු නොගනියි.  "

මා බොහෝ විට දකින පොත් ලියන කතුවරුන්ගේ දකින එකාත්මික බවක් මෙහි එන චරිත තුල දකින්නට නොමැත. තවද ඒවා කිසිවිටෙක කල්පිතයක් ලෙස දකින්නට ඇවසි නැත. ඒවා ප්‍රායෝගිකය. ඔහු අරවින්දගේ චරිතය ගොඩ නගන්නේ තවත් අයෙකුට ඉන් එහාට එම චරිතය ගැන හිතන්නටවත් ඉඩක් නොතිබෙන ලෙසයැයි මට හැඟේ. ඔහු මෙහි එන සියලු චරිතවල සැබෑ ලෙස ජීවත් වී ඇති සෙයක් පාඨකයාට දැනේ. 

මෙහි ආරම්භයත් අවසානයත් මනරම්ය. සුන්දරය. විශිෂ්ටය. සිත් බඳින සුලුය. අරවින්ද අවසානයෙදී මෙලෙස කියයි.

" මනුෂ්‍ය ගති විනිශ්චය කළ හැක්කේ බොහෝ කල් ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීමෙනියි මට හැඟේ. මා පසලෙහි උගන්නා කාලයෙහි මනුෂය ජීවිත්ය පිලිබඳ මේ අත්දැකීමෙන් හතරෙන් පංගුවකුදු මා සතු වී නම් මගේ ජීවිතය කොතරම් වෙනස් වන්නේද?. "

" මනුෂ්‍ය ජීවිතය මැනෙන මිනුමක් වශයෙන් නම් කුල සිරිත් හා ගුණ දහම් වූකලී කාලය, දේශය, අවස්ථාව අනුව වෙනස් නොවන කෝදුවක් නොවේ. "

ඇතම්හු පවසන පරිදි මෙම නවකතාව මෙතෙක් සිංහලයෙන් පහල වූ විශිෂ්ඨතම නවකතාව යන විචාරය හා මාද එකඟ වන්නේ මෙතක් මා ජීවිත්යේදී ලබා ඇති අත්දැකීම් අනුවයි. 

අපි හුදෙක් සිංහලයෝ බැවින් මෙතෙක් කිසිවෙකු විරාගය කියවා නැතිනම් කියවන්නට ආරාධනා කරමින් සමු දෙමි.



1 comment:

  1. බෙදා ගැනීම ගැන ස්තූතියි මිත්‍රයා..
    වෙලාවක බලන්න ඕනේ...
    සුබ නව වසරක් වේවා...

    ReplyDelete

හිතෙන දෙයක් කොටල යන්න ....