Saturday, March 16, 2013

අපෙ රටේ කියවිල්ල...

අපේ ලංකාව කියන්නෙ අරුම පුදුම රටක් විත්තිය හැමෝම දන්නවනෙ. මම මේ කාලෙක ඉදන් දකින දෙයක් ගැන නිතරම හිතුනු නිසා ලියන්න හදන්නෙ. ඒ අපේ රටේ කියවිල්ල ගැන. කියවිල්ල කිව්වම ඔය එක එක ඒවා තියෙනවනෙ. එහෙව් කියවිලි ගැන නෙවෙයි මේ කියන්නෙ පොත් සහ ඒ වගේ දැනුම ගන්න පුලුවන් කියවිල්ල ගැන.

මම කෝච්චියෙ යන්න ආසයි. ඔයාලත් එහෙමනෙ. ඉතින් මම ඔහොම යද්දි දකින්නෙ අපෙ රටේ මිනිස්සු කරන වැඩ. ගොඩක් අය නිදි. සමහරු පත්තරෙ බලනවා. වඩේ කනවා. ඉතින් මම දකිනවා සුද්දො එහෙමත් නැත්නම් ෆොරිනර්ස්ලා ඔය කොච්චියෙම යනවා. එත් උන් හැමතිස්සෙම පොතක් කියවනවා. ඒව අනුන්ගෙ විස්තර තියෙන පත්තර නම් නෙවෙයි. ඒක තමයි වෙනස. උන් දැනුම සොයා ගැනීමට ඇති ආශාව.

ගොඩාක් වැඩ අස්සෙ පොඩි නිවාඩුවක් හම්බෙලා මම මීගමුවේ හොටෙල් එකකට ගියා දවසක් නවතින්න. ඒකෙ වැඩිපුරම හිටියෙ සුදු ඇත්තො තමයි. මම නම් ගියෙ හොදට කාලා බීල නටලා පීනල එන්න. එහෙම තමයි උනෙත්. හැබයි මම අර සුද්දො මොකද කරන්නෙ කියලත් බැලුවා. එතන හිටපු ගොඩාක් අය ඇවිත් කලේ නිවඩුවෙ ඉන්න ගමන් පොතක් කියවපු එක. පූල් එක ලගත් පොත් බලනව. ඒ අය දියුනු වෙන්න එක හෙතුවක් වෙන්නෙ ඔවුන්ගේ ඇති නව දැනුම සොයා යෑමේ ඇති අශාව කියල මට හිතුන.

මම නිවාඩු දවසට කොහොමහරි වෙලාවක් හොයගන්නෙ පොතක් බලන්න. ඒත් අනිත් අය කාලය කන විදිය දැක්කාම මට මාර දුකයි. මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරන්න මෙච්චර අමාරු ඇයි. හේතුව ඔවුන්ගේ දැනුම අලුත් නොවීම නොවේද. කියවීමට කාලය  යොදවමු. හරවත් දේ ලියමු. නව සොයා ගැනීම් අත් හදා බලමු. වෙනස් වෙමු.

Sunday, December 30, 2012

මා කියවූ විරාගය...

මා කියවීම හුරු කර ඇත්තේ පෙර පුරුද්දකටයැයි මට සිතෙයි. මා ඒ තරම්ම කියවීමට ඇලුම් කරන්නෙකි. මට කියවිය යුතු දෙ තෝරා බේරා දීමට කිසිවකු නොසිටියෙන් මා රිසි සේ අතට හසු දේ කියවන්නෙක් වී සිටියෙමි. එහෙත් වයසින් මුහුකුරා යත්ම කාලය සීමිත වී ඇත. අද මා කරන්නෙ මට අවශ්‍ය දේ නොව මුදල් ඉපයීමට අවශ්‍ය දේවල්ය. එහෙයින් ම හැඟි සේ කටයුතු කෙරෙන්නෙ එහෙමත් නිවාඩු දවසකය.

කාලයකට පසු නැවතත් කියවීම ඇරඹූ මා සයිමන් නවගත්තෙගමයන්ගේ කෘති කීපයක් කියවීමෙන් අමන්දානන්දයට පත් වූයෙමි. ඔහුගේ පොත් පිලිබඳව පසුව සටහනක් තබන්නට සිතා සිටියත් එම කෘති කීපයක්ම බෝඩිමේ අමතක වූයෙන් එය පසුවට කල් තැබුවෙමි. මේ අතර මා කැලණි සරසවි දොරටුව අසලින් වෙනදා මෙන්ම පොත් දකිද්දී "විරාගය" දුටුවෙමි. මා කලක් තිස්සෙ කියවන්නට සිටි පොතක් බැවින් එය මිලට ගත්තෙමි. 


මාටින් වික්‍රමසින්හයන් යනු කොතරම් හසල නුවණකින් යුක්ත වූවෙක්දැයි මට සිතා ගත නොහැක්කෙ මා ඔහු අනුමාන කරන්නට තරම් උගතෙකු නොවන බැවිනි.එහෙත් මා ඔහුගෙ පොත්වල පිටු අතර අතරමං වූ සැටියෙන් ඔහුගේ දැනුම අබියස මා ළදරුවෙකු වූ බව කිව යුතුය. මම මගේ ජීවිතය අධ්‍යනය කරමි. එලෙසම මා වටා ජීවත්වන සීමිත වූ පිරිසකගේද ජීවිත දෙස සංසන්දනාත්මකව බලන්නට පුරුදු වූයෙක්මි. කියවන විටද බොහෝ දේ කියවන්නට පෙර මේ ලෙස විය යුතු යැයි සිතන්නට හුරු වූවෙක්මි. 

විරාගය කියවන විට නම් මා හට දැනුනේ මා ජීවිතයක් තුල අතරමන් වී ඇති අයුරක්ය. වෙනදා එක දිගට පොතක් කියවන මා විරාගය කියවන විට නම් මගින් මගට කියවීම නවත්වා දින ගණන් සිතන්නට වූයේ මා ගැන සහ මා අවට දකින මිනිසුන්ගෙ ජීවිත ගැනය. මා එවැනි කුතුහලය දනවන කෘතියක් මීට පෙර කියවූවේ නම් ඒ සයිමන් නවගත්තේගමයන්ගේ කෘති තුලිනි.  

ඒ සියල්ල අතරින් විරාගය නම් අති සුවිශෙශී එකකි. 

"මගේ පියා කළ කී ඇතැම් දේ වටහගැනීම මට නම් අමාරු කාරියක් නොවී ය. ඔහු ඉඳ හිට නොව  නිතර කළ බොහෝ දේ මට දැනුදු තේරුම් ගත නොහැකි ය.  ඔහු බඩුවක් මිලටගැනීමට ගොස් බෙහෙවින් හෙට්ටු කරයි. සත තුනකැයි නියම කරනු ලැබූ බඩුව වුවද ඔහු පළමුව සතයට ඉල්ලයි. දෙවනුව සත දෙකට ඉල්ලයි. ඔහු ඉල්ලන අවසාන මිලට නුදුන්නොත් ඒ බඩුව සත් තුනට නොව සත තුන හමරට වුවද අනික් තැනින් ගනියි. එක වෙළෙන්දකු සත විසිපහට විකුණන බඩුව තවත් එකකු සත විස්සට විකුණුවද දෙවැන්නගෙ බඩුව ඔහු නොගනියි.  "

මා බොහෝ විට දකින පොත් ලියන කතුවරුන්ගේ දකින එකාත්මික බවක් මෙහි එන චරිත තුල දකින්නට නොමැත. තවද ඒවා කිසිවිටෙක කල්පිතයක් ලෙස දකින්නට ඇවසි නැත. ඒවා ප්‍රායෝගිකය. ඔහු අරවින්දගේ චරිතය ගොඩ නගන්නේ තවත් අයෙකුට ඉන් එහාට එම චරිතය ගැන හිතන්නටවත් ඉඩක් නොතිබෙන ලෙසයැයි මට හැඟේ. ඔහු මෙහි එන සියලු චරිතවල සැබෑ ලෙස ජීවත් වී ඇති සෙයක් පාඨකයාට දැනේ. 

මෙහි ආරම්භයත් අවසානයත් මනරම්ය. සුන්දරය. විශිෂ්ටය. සිත් බඳින සුලුය. අරවින්ද අවසානයෙදී මෙලෙස කියයි.

" මනුෂ්‍ය ගති විනිශ්චය කළ හැක්කේ බොහෝ කල් ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීමෙනියි මට හැඟේ. මා පසලෙහි උගන්නා කාලයෙහි මනුෂය ජීවිත්ය පිලිබඳ මේ අත්දැකීමෙන් හතරෙන් පංගුවකුදු මා සතු වී නම් මගේ ජීවිතය කොතරම් වෙනස් වන්නේද?. "

" මනුෂ්‍ය ජීවිතය මැනෙන මිනුමක් වශයෙන් නම් කුල සිරිත් හා ගුණ දහම් වූකලී කාලය, දේශය, අවස්ථාව අනුව වෙනස් නොවන කෝදුවක් නොවේ. "

ඇතම්හු පවසන පරිදි මෙම නවකතාව මෙතෙක් සිංහලයෙන් පහල වූ විශිෂ්ඨතම නවකතාව යන විචාරය හා මාද එකඟ වන්නේ මෙතක් මා ජීවිත්යේදී ලබා ඇති අත්දැකීම් අනුවයි. 

අපි හුදෙක් සිංහලයෝ බැවින් මෙතෙක් කිසිවෙකු විරාගය කියවා නැතිනම් කියවන්නට ආරාධනා කරමින් සමු දෙමි.



Wednesday, August 1, 2012

සංචාරක විත්ති ( කලා වැව 1 )

සරසවියෙන් රස්සාවට ආවට පස්සෙ ඒකත් එක්කම දවස් ගෙවිලා යනවා ඇර වෙනස් දෙයක් කරන්න තියෙන කාලයත් අවස්ථාවත් හරි අඩුයි කියල තේරෙන්නෙ දැන් තමයි. ඒ උනාට අපි වාසිටි උන්නු කාලෙ කරපු දේවල් ගැනයි ගියපු තැන් ගැනයි දුකක් නැතිව සතුටු වෙන්න පුලුවන්. පොතේම ඉන්නවට වඩා අපි යමක් කලා කියන සතුට දැනෙන්නෙ එලියට ආවට පස්සෙ.

කොහොම හරි මට දැන් තියෙන ලොකුම ආසාව තමයි ගවේශනාත්මකව අපේ අතීතය සහ වර්තමානය දකින එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ උනාට මිනිස්සු විදියට අපි හැමෝම එකේක දේවල් හොයන්න ආසයිනෙ. 


මීට කලින් අපි ගියපු හැම සංචාරයක්ම ගිහින් ආවට පස්සෙ මට ලියන්න හිතුනත් ඒකත් කාලයත් එක්කම ගිලිහිලා ගියා. අද පෝය දවස නිසා නිදහසේ හිත එහෙ මෙහෙ යවන්න පුලුවන්. ඔෆිස් අදින ඇඳුම් ටිකත් හරි නිසා මොනව හරි ලියන්න හොඳ දවසක්. නිකිනි හඳ පායලා ගණ අඳුර නැති වෙලා ගිහින්. විටින් විට පොඩි සුලඟක් හැමුවට ඒකත් දවල් වැටුනු අවුවට රත් වෙලා තියෙන ගස් කොලන් අතරින් හමන නිසා වෙන්න ඇති තාමත් උනුසුමක් දැනෙන්නෙ. 

මේ ගමනට එකතු උනේ මාත් එක්ක තව ඔෆිස් එකේ වැඩට උදව්වට ඉන්න මදුෂාන්. මදුශාන් රස්සාවට ආපු දවසෙ ඉදලා හොදට වැඩ කරනවා. මිනිහ ගෙදරටත් ගොඩක් උදව් කරන කෙනෙක්. මමත් ගමනක් යන්න හිතුනම ඒක මට ඕන විදියට යන්න නැත්නම් වැඩක් නැති නිසාම ගමනට මදුශාන්ව එකතු කර ගත්තා.  අපි ගමන පටන් ගන්නෙ මහව නගරයෙ සිට කලා වැවට යන්න. කොහොමෙන් හරි මදුශාන් උදේම එන්න කිව්වට ආවෙ පරක්කු වෙලා. බස් ස්ටැන්ඩ් එකේ අන්කල් කිව්වෙ ආයෙත් කලා වැවට බස් එකක් තියෙන්නෙ 10 ට කියල. 

මොනව කරන්නද තව පැය දෙකක් විතර තියෙනවා ඊලඟ බස් එකට. අපි ලඟ පාත කීප දෙනෙක්ගෙන්ම බස් එක ඇරෙන්න යන්න විදියක් ඇද්ද කියල. ස්ටේෂන් එකටවත් ගිහින් බලන්න කියල උපදෙස් ලැබුනු නිසාම අපි කෝකටත් කියලා ලන්කාදීප පත්තරේකුත් අරන් ස්ටේෂන් එකට ගියා. කෝච්චියත් උදේම ගිහින්. කිසිදු සැලැස්මක් නැතිව ගමනක් යන්න ආවම ඔහොම තමයි. අපි ඉන්නෙ ගමක විත්තිය මටත් අමතක වෙලා. 

මට දැන් මදුශාන් ගැන හොදටම තරහයි. ඇයි යකො මූ උදේම ආවෙත් නැ ඒ මදිවට මූ ගමේ වෙලත් බස් එකක් කොච්චියක් තියෙන වෙලාවක්වත් දන්නෙ නැනෙ. අපි වගෙ නෙවෙයිනෙ. එක අතකින් මූත් පව්. අපි කැම්පස් ගියෙ කාගෙන් අහගෙනද. ඒ හින්දම වෙන්න ඇති අපිට මේ ලංකාව පොඩි රටක් කියලා දැනෙන්නෙ. කොහොම හරි අපි බස් එක එනකල් ස්ටේෂන් එකට වෙලා පත්තරේ බැලුවා. පත්තර වලත් තියෙන්නම කියවන්න වටින දෙයක් නෙවෙනෙ. කහ වත්තෙ එක දිගට මරණ. ඒ වෙලාවට නම් මගෙත් හිත ගැස්සෙනවා.   

ඇයි ඉතින් කවුරුවත් නැති පාලු වත්තක ලොකු ගේකට වෙලානෙ මාත් ඉන්නෙ. අනේ මන්දා. ඒ වෙලාවට තමයි මට මේ ඉන්න ටිකෙ ජොලියෙ ඉඳිල්ලා කියන කිංස්ලි පීරිස්ගෙ සිංදුව මතක් වෙන්නෙ. ඒ පාර තවත් බුවෙක් ලඟට ඇවිත් ශහ් පත්තරේ තියෙනවා නේද කියල එහා පැත්තෙන් වාඩි වෙලා මගෙන් අහනවා මම ලහි පිට පොඩ්ඩක් ගන්නද කියලා. ඒ අස්සෙ මට දවසක් පත්තර ඉල්ලලා උනු සිද්දියක් මතක් වෙලා කටට හිනාවක්  ආවා. ආහ් ගන්නකො අරං බලන්න. මදුෂානුත් කවදාවත් නැතිව පාඩුවේ පත්තරෙ බලයි. හෙමීඑට මගෙ මූණ බලයි.



මම අර මතක් උන කිව්ව පත්තර සිද්දිය වෙද්දි වැඩ කලේ ජා ඇල පැත්තෙ. 265 බස් එකෙ නැගල මම එනවා කොටුවට පොඩි වැඩකට. බස් එකට මගදි නැග්ගා ටිකක් වයසක මනුස්සයෙක්. බස් එකේ වැඩි සෙනඟක් නැති නිසාම වට පිට බලලා ඉඩ තිබුනෙ මං ලඟ නිසා ඇවිත් වාඩි උනා. මිනිහගෙ අතේ තිබුනෙ පරන ඔෆිස් බැග් එකක්. ඔන්න ඒකෙන් පත්තරයයි කන්ණාඩි කුට්ටමයි අරගෙන පත්තරේ බලනවා. මිනිහ බලන්නෙ එච්චර වැදගත් ඒවා නොවෙන විත්තිය මට තේරුනා. මටත් දැන් ඉන්න බැ අනිත් පත්තර ටික ඉල්ල ගන්න කල්. 

මාර හදිස්සියකින් පත්තරෙ පෙරලන්නෙ. අත් දෙකත් වෙව්ලනවා. මාත් ඉතින් ඉල්ලන්නත් හදල අපො චාටර් වෙන්න බැ කියල ටික දුරක් ආවා. වත්තලත් පහු උණා. මිනිහ බහින පාටක් නැ. මේක ලංකාවනෙ කියල හිතල මම ඇහුව අන්කල් අර කොටස දෙන්න බැරිද කියලා. මිනිහට මල පැනලා. ඔක්කොම පත්තර ටික දා ගත්තා බැග් එකට. මං දිහා බලලා මිනිහෙකුට නිදහසේ පත්තරයක් බලන්නවත් නැනෙ. කඩෙන් එකක් අරන් බලනවකො කියල කිව්වනෙ. 

එහෙම කියලා ඊලඟ හෝල්ට් එකෙන් බැහැලා ගියා. මම හිමීට ඔලුව උස්සලා වට පිට බැලුවා. අම්මො කවුරුවත් ලඟ පාත නැ. මට මිනිහගෙ පරම් පරාවම මතක් වෙනවා දැන්. ඇයි දෙයියනේ ඕක බැලුවා කියලා අකුරු ගෙවෙනවයැ. වෙලාවත් 10 ට කිට්ටුයි. අපි බස් ස්ටැන්ඩ් එකට යනවා. ඕනෙනම් ලහිපිට ඔයා තියා ගන්න මම ඕක බලන්නෙත් නැ.  අපි ස්ටේෂමට සමු දුන්නා. දැන් තමයි අපි කලා වැව යන්න බස් එකට නැග්ගෙ....

තව කොටසක් බලමුකො...